විගණන පනත ප්‍රමාද බැඳුම්කර වංචාව නිසාද?

විගණන පනත තිබුණානම් බැඳුම්කර වංචාවේ පරීක්ෂවලට සම්බන්ධ වෙන්න තිබුණා - විගණකාධිපති

by Chathuranga Rajapaksha 05-02-2018 | 7:22 PM

විගණන පනත තිබුණානම් බැඳුම්කර අක්‍රමිකතා සොයන පරීක්ෂණවලට සම්බන්ධ වීමට, අවස්ථාව තිබූ බව විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා පවසයි .

නිව්ස්ෆස්ට් කළ විමසීමකදී විගණකාධිපතිවරයා ප්‍රකාශ කළේ, පනත් කෙටුම්පතට නීතිපති අනුමැතිය ද ලැබී ඇති බව ය. යහපාලන රජයේ ප්‍රබල මැතිවරණ පොරොන්දුවක් වූ විගණන පනත එම රජයේ පළමු දින 100 තුළ ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණි. 2015 මැයි මස 15 වන දින සම්මත වූ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පිහිට වූ කොමිෂන් සභා අතරට විගණන කොමිසම ද ඇතුළත් වුණ අතර එම කොමිසම සඳහා සමාජිකයින් පවා පත් කෙරිණි. නමුත් එතැන් සිට මේ දක්වා ජාතික විගණන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නොහැකි වී තිබේ. විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා  "19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදු කරන අවස්ථාවේ පැහැදිලිවම සඳහන් වෙලා තියෙනවා මේ කොමිසන් සභා පැහැදිලිවම අවශ්‍ය පහසුකම් සැපයීම ජනාධිපතිවරයාගේ කාර්ය භාර්යක් කියලා. නමුත් විගණන පනත සම්මත කිරීමේ වගකීම අගමැති කාර්යාලය විසින් භාර අරගෙන කැබිනට් අනුමැතියක් ලබා ගත්තා. මෙතන තමයි මේ පනත ප්‍රමාද වීමට ප්‍රධානම හේතුව. 23 වතාවක් මේක සංශෝධනය කිරීම සඳහා විශාල කාලයක් අපිට ගියා . මේක අවුරුදු 2ක් තිස්සේ මේක තියෙනවා. මාසෙට රුපියල් 20 ලක්ෂයක් විතර වියදම් කරනවා. 21 දෙනෙක් සේවය කරනවා. හැබැයි කිසිම රටට ඵලදායි දෙයක් වෙලා නැහැ පනත මේ වන විට නීති කෙටුම්පත් කරලා අගමැති කාර්යාලයට භාරදීලා තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා .ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මේක අනුමත කරගැනීම සූදානම් බව දැනගන්න ලැබිලා තියෙනවා " නිව්ස්ෆස්ට් ප්‍රශ්නය - කවුද මේක අගමැති කාර්යාලයෙන් පරක්කු කරන්නේ ? විගණකාධිපතිගේ පිළිතුර -  "මේක මං කැමති නැහැ දේශපාලන අධිකාරියට යොමු කරන්න. නමුත් මේකේ ඉන්නවා දූෂිත ලේකම්වරු පිරිසක්. ඔවුන් තමයි හැමවෙලාවෙම මේ පනත පිටිපස්සට දාන්නේ. උදාහරණයක් විදිහට මේ පනත පළමුවෙන් සම්මත කිරීමට මුදල් අමාත්‍යාංශයෙන් තමයි ලිපිය යෙමු කළේ. පනතේ මූලික හරයක් කඩා වැටෙන ආකාරයට එවකට හිටපු මුදල් ඇමතිවරයාගේ අත්සනින් කැබිනට් එකට පළමු ලිපිය යැව්වේ. ඒ හරහා ඒ පනතේ තිබුණු හරයන් ගැලවිලා ගියා. ගල්අඟුරු සම්බන්ධයෙන් අප සකසපු වාර්තාව ඉදිරිපත් කළා නමුත් අද වෙනකම් ඒක ගැන සාකච්ඡා කළේ නැහැ .ඒ වගේම හාල් ගෙන්වීමේදී බිලියන 15ක අලාභය සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළා . ඒ ගැන අද වෙනකම් සාකච්ඡාවක් නැහැ .ගිං ගඟ හෑරීමේ ව්‍යාපාරය සම්බන්ධයෙන් කතා කළා .ඒකත් සිල් රෙදි කේස් වගේම මූල්‍ය අවභාවිතයක් වෙච්ච ව්‍යාපෘතියක් . ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරයේ සම්බන්ධයෙන් කතා කළා නමුත් තවමත් ඒ ගැන සාකච්ඡා කළේ නැහැ .දැන් බැඳුම්කර සිදුවීමේදී අප අදරගත්තා මහ බැංකු අධිපතිවරයාගේ වැරදි තීරණ නිසා රටට වෙලා තියෙන අලාභය .විගණන පනත තිබුණනම් අපට මීට සම්බන්ධ නීති ඉදිරිපත් කරන්න තිබුණා " නිව්ස්ෆස්ට් ප්‍රශ්නය - එතකොට විගණන පනත ඇත්තටම නතර වෙලා තියෙන්නේ මේ හේතුව නිසාද ? විගණකාධිපතිගේ පිළිතුර - "අපිට එහෙමත් හිතන්න පුළුවන් මොකද මේක මෙහෙම ප්‍රමාද වීම සඳහා කිසිම හේතුවක් නැහැනේ"