මාලදිවයින් දේශපාලන අර්බූදය උග්‍ර වෙයි

මාලදිවයින් දේශපාලන අර්බූදය උග්‍ර වෙයි

by Sagarika Chathumali 05-02-2018 | 8:09 AM

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හෝ ඔහු අත්අඩංගුවට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළ හොත් ඊට එරෙහි වන ලෙස මාලදිවයින් රජය  එරට ආරක්ෂක අංශ වෙත නියෝග කර තිබේ.

ඒ විපක්ෂ දේශපාලනඥයින් බන්ධනාගාරයෙන් නිදහස් කිරීමට අධිකරණය දුන් අධිකරණ නියෝගය මාලදිවයින් ජාධිපතිවරයා නොසලකා හැරීම හමුවේ ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට අධිකරණය සුදානම් වන පසුබිමකදීයි. හිටපු මාලදිවයින් ජනාධිපති මොහොමඩ් නෂීඩ්ට එරෙහි නඩු විභාගය ව්‍යවස්ථා විරෝධී බවත්  බන්ධනාගාරගතව සිටින විපක්ෂ මන්ත්‍රීවරුන් 9 දෙනා වහා ම නිදහස් කරන ලෙසත් අධිකරණය ඉකුත් සිකුරාදා නියෝග කළේ ය. එම නියෝගයට අනුව විපක්ෂ මන්ත්‍රීවරුන් නිදහස් කළ හොත් මාලදිවයින් පාර්ලිමේන්තුව තුළ විපක්ෂයට බහුතර බලය හිමිවනු ඇති. එම නියෝගයට එකඟ වනු වෙනුවට මාලදිවයින් ආරක්ෂක අංශ ඊයේ එරට පාර්ලිමේන්තුව වටලා විපක්ෂ දේශපාලනඥයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබී ය. එරට නීතිපති මොහොමඩ් අනිල් ප්‍රකාශ කළේ, ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට ප්‍රයත්න දැරීම නීතිවිරෝධී බැවින් ඊට ඓරෙහි වන ලෙස තමන් ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටි බවයි. ඉන් අනතුරුව හමුදා සහ පොලිස් නිලධාරීන් සිය දිවි පුදා මාලදිවයින් රජය රැකගන්නා බවට දිවුරුම් දෙන ආකාරය සජීවීව රූපවාහිනීය ඔස්සේ විකාශය කෙරිණ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊයේ රාත්‍රියේ මාලේ අගනුවරට රැස්වූ විපක්ෂ ආධාරකරුවන් සිය ගණනක් දේශපාලන සිරකරුවන් නිදහස් කර රටේ ව්‍යවස්ථාවට ගරු කරන ලෙස ඉල්ලා විරෝධතාවල නිරත වූ බවයි. අල්ලස් ගත් බවට චෝදනා කරමින් මාලදිවයින් අගවිනිසුරු ඇතුළු ප්‍රමුඛ පෙළේ විනිසුරුවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය තැත් කරමින් සිටින බව  මාලදිවයින් විපක්ෂය ප්‍රකාශ කළේ ය. මේ අතර විපක්ෂය චෝදනා කරන්නේ, රජය අධිකරණ බලතල ග්‍රහණයට ගැනීමට තැත් කරන බවයි.