ඇලෝෂියස් සහ පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට

මහ බැංකු බැඳුම්කර මගඩිය: අර්ජුන් ඇලෝෂියස් හා කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරයට

by Sagarika Chathumali 05-02-2018 | 8:17 AM

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ පර්පචුවල් ට්‍රෙෂරීස් පුද්ගලික සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසේන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව ඔවුන් දෙදෙනා හෙට උදෑසන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා අද පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණ. අද උදෑසන 6 .30 පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායම් 2ක් කොළඹ මල්පාරේ පිහිටි අරජුන් ඇලොසියස් මහතාගේ නිවසට හා වැල්ලවත්ත අර්තුසා පාරේ පිහිටි කසුන් පාලිසේන මහතාට නිවෙස් වැටලූහ. කසුන් පාලිසේන මහතාගේ නිවස පිහිටි භූමියට නිලධාරින්ට ඇතුළු වීමට සිදුවූයේ ආරක්ෂක බැම්ම මතිනි. ඇලෝසියස් මහතාගේ නිවසට ඇතුළු වීමට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් පොලිස් නිලධාරීන්ට එක්වර ඉඩ නොදුන් නමුත් පසුව ඊට අවනතවීමට සිදුවිය. පැයකට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතාගේ නිවසේ රැඳී සිටි අතර පෙරවරු 7.30 ට පමණ ඔහු අත්අඩංගුවට ගත්තේ ය. ඒ අවස්ථාව වන විට කසුන් පාලිසේන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව සිටි අතර දෙදෙනා ම පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන එනු ලැබී ය.