උදයංග වීරතුංග අත්අඩංගුවට

උදයංග වීරතුංග අත්අඩංගුවට

by Chathuranga Rajapaksha 04-02-2018 | 7:45 AM
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සඳහන් කළේ, අද අලුයම තමන්ට ඒ පිළිබඳ තොරතුරු වාර්තා වූ බව ය. උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට පත්ව සිටින වීරතුංග මහතා ශ්‍රී ලංකා භාරයට ගැනීම සඳහා අදාළ අංශවලින් උපදෙස් ලැබෙන තෙක් සිටින බව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසයි. වීරතුංග මහතා නමට ඇති විදෙස් ගමන් බලපත්‍රය භාවිතය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේ, පසුගිය වසරේ ජුනි 30 වැනිදා ය. ඒ, වරෙන්තු නිකුත් කර සිටින අයෙකු වන උදයංග වීරතුංග මහතා අදාළ විදෙස් ගමන් බලපත්‍රය භාවිත කර විදෙස් රටවල සැරිසරන බවට තොරතුරු වාර්තා වී ඇතැයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කිරිමෙන් අනතුරුවයි. උදයංග වීරතුංග මහතා ශ්‍රී ලංකාවට යුක්ක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේදී මැදිහත් වී අයුතු ලාභයක් ලැබීම සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනවල සැකකරුවෙකි.