මල්ලී මරා දැමීමට එරෙහිව කළ අවිහිංසාවාදී සටන ජයගත් ඉන්දීය තරුණයෙක්

මල්ලී මරා දැමීමට එරෙහිව කළ අවිහිංසාවාදී සටන ජයගත් ඉන්දීය තරුණයෙක්

මල්ලී මරා දැමීමට එරෙහිව කළ අවිහිංසාවාදී සටන ජයගත් ඉන්දීය තරුණයෙක්

කර්තෘ Sagarika Chathumali

01 Feb, 2018 | 6:53 pm

ආත්මාර්ථකාමී අරමුණු වෙනුවෙන් විරෝධතා, උද්ඝෝෂණ උපවාස පමණක් නොව මාරාන්තික උපවාස පවා සිදු කරන පුද්ගලයින් සහ කණ්ඩායම් ගැන නිරත අසන්නට දකින්නට ලැබේ.

එහෙත් සිය සොහොයුරාට පොලීසියෙන් වූ අසාධාරණයකට එරෙහිව දින 782ක් තිස්සේ සටන් කර ඊට යහපත් ප්‍රතිචාරය ලද මොහොතේ සිය සටන අවසන් කළ විරෝධතාකරුවෙකු පිළිබඳව ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් වාර්තා වේ.
ස්‍රීජිත් අදාළ පුද්ගලයා විරෝධතාව ආරම්භ කර ඇත්තේ, පොලිස් අත්අඩංගුවේදී මිය ගිය සිය සහෝදරයාට සාධාරණය ඉෂ්ට කර දෙන මෙන් ඉල්ලා සිටිමිනි.

අවසානයේ ස්රීජිත් දින 782කට පසු සිය උපවාසය අවසන් කරන්නේ, ඉන්දීය ෆෙඩරල් ඒජන්සිය අදාළ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවට පොරොන්දුවීමෙන් අනතුරුව ය.

ස්‍රීජීව් නමැති 26 හැවිරිදි ස්රීජිත්ගේ සහෝදරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ, ඔහු දුරකතනයක් සොරකම් කිරීමේ සිද්ධියකට සම්බන්ධ බව පවසමිනි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු මිය ගොස් ඇති අතර පොලීසිය පවසා ඇත්තේ, ඔහු සිය දිවි නසා ගෙන ඇති බවයි.

එහෙත් ස්රීජීව්ගේ පවුලේ සාමාජිකයින් චෝදනා කරන්නේ, පොලීසීය ඔහු ඝාතනය කර ඇති බවටයි.

පොලිස් නිලධාරියෙකුගේ ඥාති තරුණියක සමග ඔහු ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇ.ති බවත් ඒ හේතුවෙන් ඔහු ඝාතනය කරන්නට ඇති බවට ත් පවුලේ ඥාතීන් සැක පළ කර තිබේ.

මේ අතර අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ තරුණිය වෙනත් පුද්ගලයෙකුට විවාහ කර දීමට දිනකට පෙර දිනයේදී ය.

මෙම සිදුවීමත් සමග පොලීසියට එරෙහිව දැඩි විරෝධයක් එල්ල වූ අතර සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ද දැඩි විරෝධතා ආරම්භ වන්නට විය.

පසුව සිය සහෝදරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලා ස්රීජිත් උද්ඝෝෂණයක් ආරම්භ කළේ ය.

ඉහළ නැගුණු දැඩි ජනතා විරෝධය හමුවේ මරණය සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කරන ලෙස ප්‍රාන්ත බලධාරීන් නියෝග කර තිබිණ.

ස්රීජිත් එය තරයේ ප්‍රතික්ෂේප කරමින් පවසා ඇත්තේ, ඉන්දීය මධ්‍යම ආණ්ඩුව මගින් විමර්ශනය පැවැත්විය යුතු බවයි.

මේ අතර Human Rights Watch සංවිධානය පවසන්නේ, සියදිවි නසා ගැනීම සහ හදිසියේ රෝගී වීම පොලිස් වධ හිංසාවන් හේතුවෙන් සිදු වන මරණ වසන් කිරීම සඳහා ඉන්දීය පොලීසිය යොදා ගන්නා ප්‍රමුඛ හේතු බවයි.
ඉන්දීය ජාතික අපරාධ වාර්තා කාර්යංශයට අනුව 2010 සහ 2015 අතරදී සැකකරුවන් 591 දෙනෙකු එරට පොලිස් අත්අඩංගුවේදී ජීවිතක්ෂයට පත්ව ඇත.