හිටපු මාලදිවයින් ජනපති මුදාහැර යළි නඩු පැවරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

හිටපු මාලදිවයින් ජනපති මුදාහැර යළි නඩු පැවරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

හිටපු මාලදිවයින් ජනපති මුදාහැර යළි නඩු පැවරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග

කර්තෘ Sakila Udayakumara

02 Feb, 2018 | 10:38 am

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් බන්ධනාගාරයෙන් මුදාහැර යළි නඩු විභාග පැවැත්වීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ, ඔවුන්ට එරෙහිව දඬුවම් නියම කිරීමේදී ජාත්‍යන්තර නීතිය හා ව්‍යවස්ථාව උල්ලංඝනය වී ඇති බව ය.

මාලදිවයින් හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් ඇතුළු විපක්ෂ දේශපාලනඥයින් රැසක් පසුගිය කාල සීමාව තුළදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කෙරිණි.

ජාත්‍යන්තරයෙන් එල්ල වූ දැඩි බලපෑම් හමුවේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් බන්ධනාගාරයෙන් මුදා හැරුනේ, සෞඛ්‍ය හේතු මත ප්‍රතිකාර ලබා ගැනීම සඳහා විදෙස්ගත වීමට ය.

අධිකරණයේ නව නියෝගයත් සමග මාලදිවයින් පාර්ලිමේන්තුවේ විපක්ෂයට හිමි ආසන සංඛ්‍යාව යළි තහවුරු කෙරෙනු ඇති.

ඒ, විපක්ෂ දේශපාලනඥයින් 12 දෙනෙකුට යළි සිය මන්ත්‍රී ධූරය හිමි වීම හේතුවෙනි.

මාලදිවයිනේ හිටපු ජනපති මොහොමඩ් නෂීඩ්ට මේ වන විට බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණය ලබා දී තිබේ.

මාලදිවයිනේ පැවති ප්‍රජාතාන්ත්‍රික මැතිවරණයකින් පළමු වරට ජනාධිපති ධූරයට තේරී පත් වූ මොහොමඩ් නෂීඩ් 2015 වසරේදී අධිකරණය හමුවේ වරදකරු වූ අතර ඔහුට වසර 13ක සිර දඬුවමක් නියම කෙරිණි.

මෙම දේශපාලනඥයින්ට එරෙහි නඩු විභාග ප්‍රශ්න ගත හා දේශපාලනික මුහුණුවරක් ගැනීම හේතුවෙන් ඔවුන් වහාම නිදහස් කොට යළි නඩු විභාග පැවැත්වීමට නියෝග කරන බව මාලදිවයින් ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.

මාලදිවයිනේ අමෙරිකානු තානාපතිවරයා මාලදිවයින් ජනපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ, අධිකරණ නියෝගයට ගරු කරන ලෙස ය.

මේ අතර මාලදිවයිනේ වත්මන් ජනපති අබ්දුල්ලා යාමින්ට ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් පවසා තිබේ.