ශ්‍රී ලාංකිකයින් 15,400 කට අධික පිරිසක් කුවේට්හී නීති විරෝධීව රැඳී සිටින බවට තොරතුරු

ශ්‍රී ලාංකිකයින් 15,400 කට අධික පිරිසක් කුවේට්හී නීති විරෝධීව රැඳී සිටින බවට තොරතුරු

ශ්‍රී ලාංකිකයින් 15,400 කට අධික පිරිසක් කුවේට්හී නීති විරෝධීව රැඳී සිටින බවට තොරතුරු

කර්තෘ Chathuranga Rajapaksha

27 Jan, 2018 | 9:54 am

පුද්ගලයින් 15,447ට ආසන්න ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් මේ වනවිට කුවේට්හි නීති විරෝධීව රැඳී සිටින බව විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය පැවසුවේ වීසා නීති උල්ලංඝණය කරමින් එලෙස කුවේටයේ රැඳී සිටින පුද්ගලයින් වෙනුවෙන් කුවේට් රජය පොදු සමා කාලයක් ප්‍රකාශයට පත්කර ඇති බව ය.

ලබන සඳුදා සිට පෙබරවාරි 22 දින දක්වා එම පොදු සමා කාලය ක්‍රියාත්මක බව කුවේට්හි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

මෙම පොදු සමා කාලය යටතේ නීත්‍යානුකූලව වීසා නොමැතිව කුවේට්හී වෙසෙන විදේශීකයින්ට නියමිත කාලය තුළ අදාළ දඩ මුදල් ගෙවීමකින් තොරව හා අදාළ ආයතනවල විශේෂ අවසරයක් ලබා ගැනීමෙන් තොරව එරටින් පිටවිය හැකි වේ.

මෙසේ පිටවන අයට වෙනත් නීතිමය බාධා නොමැති නම් නීත්‍යානුකූල අයුරින් නැවත කුවේට් රාජ්‍යට පැමිණීමට ද අවසර ලැබෙනු ඇති.

මෙම සමා කාලය තුළදී තමන් විසින් ගෙවීමට ඇති අදාළ සියළු දඩ මුදල් ගෙවා, වලංගු වීසා බලපත‍්‍රයක් ලබාගෙන තව දුරට ත් කුවේට් රටේ රැඳී සිටීමට ද අවසර ලැබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ ගමන් තහනම් (Travel Ban) හෝ උසාවි මඟින් තහංචි පනවා ඇති අයට මෙම පොදු සමාව අදාළ නොවන අතර, එවැනි නීතිමය ගැටළු ඇති අය ළඟම ඇති ජවසාත් (Department of Residency Affairs) වෙත ගොස් තම ගැටළු විසඳා ගැනීමට පියවර ගත යුතු බව ය.

එසේම මෙම පොදු සමා කාලය තුළ කුවේට් රාජ්‍යයෙන් පිටවිමට අවසර ලබාදී තිබියදීත් එසේ නොකර තව දුරටත් රැඳී සිටින පුද්ගලයින් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට කුවේට් බලධාරීන් පියවර ගනු ඇති අතර මෙම පොදු සමා කාලය ආරම්භ වන 2018 ජනවාරි මස 29න් පසුව කුවේට් රටට පැමිණෙන හා එදිනෙන් පසු නීති කඩකිරීම් සිදුකරන අය හට මෙම පොදු සමා කාලය හරහා සහනයක් නොලැබෙන බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේය.

එම කාර්යාංශය නිවේදනය කළේ, මෙසේ නීති විරෝධී අයුරින් එරට රැඳී සිටින ඥාතීන් වේ නම් මේ සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කර එම කාලය තුළදී මෙරටට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙස ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]