අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම

අත්සන් තැබීමට නියමිත ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම

කර්තෘ Hashini De Mel

22 Jan, 2018 | 9:11 pm

ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් වන විමර්ශනාත්මක වාර්තාවකි මේ.

සිංගප්පුරුව මේ වන විට වෙනත් රටවල් සමග අත්සන් කර ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම් සංඛ්‍යාව 21කි.

සිංගප්පුරු රජයේ දත්තවලට අනූව පසුගිය වසර තුළ ශ්‍රී ලංකාව සහ සිංගප්පුරුව අතර සිදු ව ඇති ද්විපාර්ශික වෙළෙඳාම්හි වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක් වේ.

2015 වසරේ එම අගය සටහන් වූයේ, අමෙරිකානු ඩොලර් බිලියන 2.05ක් ලෙසිනි.

සිංගප්පුරු ආර්ථිකය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථීකය සහ සංසන්දනය කිරීමේදී, එය මෙරට ආර්ථීක මෙන් හතර ගුණයක් ඉදිරියෙන් සිටිනු ඇත.

ඒ අනූව අත්සන් තැබීමට නියමිත නිදහස් වෙළෙඳ ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවට නව ආයෝජන අවස්ථා උදාකර ගැනීමට යම් ඉඩකඩක් පවතිනු ඇති.

නමුත් මෙහි අවාසිදායක තත්ත්වයන් රැසක් ද පවතින බව විද්වත් මතය වේ.

මේ වනවිට මෙරට සිදු කර ඇති විදෙස් ආයෝජන පිළිබඳව සලකා බැලීමේදී සිංගප්පුරුවට හිමිවන්නේ සිව් වන ස්ථානයයි.

එබැවින් 2014 දී අමෙරිකානු ඩොලර් මිලියන 102ක් ව පැවති සිංගප්පුරු ආයෝජන වැඩි වනු ඇතැයි රජයේ විශ්වාසය වේ.

මේ වනවිටත් ඉඩම්, සංචාරක, සන්නිවේදන ආදි ක්ෂේත්‍රයන්ට අදාළ ව සිංගප්පුරු ආයතන 100කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතුවල නිරත වන නමුත් භාණ්ඩ ගනුදෙනුව සලකා බැලිමේදී සිංගප්පුරුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වෙළෙඳපොළෙක් නොවේ.

2015දී ශ්‍රී ලංකව සිංගප්පුරුවට අපනයන කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 185ක් අපනයන භාණ්ඩ ප්‍රමාණයකි.

එය මෙරට අපනයන වෙළෙඳපොළෙන් 1% කටත් අඩු ප්‍රතිශතයකි.

නමුත්, ආනයනය සලකා බලද්දී සිංගප්පුරුව ශ්‍රී ලංකාවට භාණ්ඩ ආනයනය කරන රටවල් අතරින් 5වන ස්ථානයේ පසුවනු ඇත.

එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ මෙරට ආනයන ආර්ථිකයෙන් 5% ක් ලෙස දැක්විය හැකියි.

2015දී සිංගප්පුරුවෙන් ආනයනය කර ඇති භාණ්ඩවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 923ක් වේ.

ඒ අතර යන්ත්‍ර සූත්‍ර, විදුලි උපකරණ, රසානය ද්‍රව්‍ය, ප්ලාස්ටික් සහ ආහාර වර්ග ප්‍රමුඛ ය.

මෙම කරුණු සැලකිල්ලට ගැනීමේදී සිංගප්පුරුව හා එළඹීමට නියමිත මෙම නව වෙළෙඳ ගිවිසුම සිංගප්පුරුව වාසිදායක අවස්ථා රැසක් හිමි කර දෙන බව විද්වත් මතය වේ.

ඔවුන් පෙන්වා දෙන්නේ, මේ හරහා දෙරට අතර ඇති අමෙරිකානු ඩොලර් මිලියන 838ක වෙළෙඳ ශේෂය තවදුරටත් ඉහළ යනු ඇති බවයි.