පොලිස් වෙඩි තැබීමෙන් නොසන්සන් වූ කතරගම අලුත්ම තත්ත්වය

පොලිස් වෙඩි තැබීමෙන් නොසන්සන් වූ කතරගම අලුත්ම තත්ත්වය

By Sagarika Chathumali

Jan 22, 2018 | 6:13 am

පොදු දේපොළවලට හානි කිරීම හා පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනා මත කතරගමදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 58 දෙනා ඇප මත නිදහස් කර තිබේ.

පොලීසිය පැවසුවේ සැකකරුවන් තිස්සමහාරාම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රී කතරගම නගරයේදී සිදුවූ වෙඩි තැබීමට විරෝධය පළකරමින් විරෝධතාවයේ නිරත වූ ප්‍රදේශයේ කාන්තාවන් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 58 දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබිණ.

පොලීසිය පැවසුවේ මාර්ගය අවහිර කිරීම, මාර්ගයට අලාභ හානි කිරීම, පොලිස් නිලධාරීන්ට පහර දී තුවාල සිදුකිරීම යන චෝදනා යටතේ අදාළ පිරිස අත්අඩංගුවට ගත් බවයි.

මේ අතර සිද්ධිය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් එම ප්‍රදේශයට පිටත් කර හැර තිබේ.

පසුගිය සෙනසුරාදා රාත්‍රී 11ට පමණ කතරගම නගරයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වයකු සහ සිවිල් ආරක්ෂක නිලධාරියෙකු වැඩිහිටි කන්ද දෙසට ධාවනය වූ යතුරු පැදියක් නතර කිරීමට සංඥා කර ඇති අතර යතුරු පැදිකරු අණ නොකතා ධාවනය කිරීම හේතුවෙන් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබිණ.

වෙඩි ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදිකරු කතරගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් විය.

වෙඩි තැබීම සිදුකළ බව කියන පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, පෙරේදා රාත්‍රී පොලිස් සථානයට පහරදී අලාභ හානි සිදුකිරීම සම්බන්ධයෙන් ලබාගත් වීඩියෝ දර්ශන පරිශීලනය හා විමර්ශනය කරමින් පවතින බවයි.