හිටපු නීතිපති හා අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි

හිටපු නීතිපති හා අගවිනිසුරු මොහාන් පීරිස් ඇතුළු තිදෙනෙකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයෙන් සිතාසි

By Sakila Udayakumara

Jan 18, 2018 | 4:56 pm

හිටපු නීතිපතිවරයෙකු මෙන් ම හිටපු අගවිනිසුරුවරයෙකු වන මොහාන් පීරිස් මහතා ඇතුළු 3 දෙනෙකුට මාර්තු 08 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද සිතාසි නිකුත් කළේ ය.

ඒ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද පස්වරුවේ ගොනු කළ නඩුවකට අදාළව ය.

මෙම නඩුව පවරනු ලැබුවේ, ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් හා දේපල මිලදී ගැනීමේදී සිදුවූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු පැවරීම වැළැක්වීම සඳහා අයුතු සහගත ලෙස නීතිපති වාර්තාවක් ලබා දීම සම්බන්ධයෙනි.

මෙහි අනෙක් වගඋත්තරකරුවන් වන්නේ, වර්තමානයේ අභියාචනාධිකරණ විනිසුරුවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඒ.එච්.එම්.ඩී. නවාස් සහ විදුලිබල අමාත්‍යංශයේ හිටපු ලේකම් එම්.එම්.සී. ෆර්ඩිනෑන්ඩස් යන මහත්වරුන් ය.

ලංකා විදුලි පෞද්ගලික සමාගමට ඉඩම් සහ දේපල මිලදී ගැනීමේදී සිදුව ඇති වංචාව පිළිබඳ 2009 වසරේදී සිරිපාල ගම්ලත් කමිටුව සහ 2010 වසරේදී රත්නපාල ඩයස් ජයතිලක කමිටුව කරුණු අනාවරණය කර තිබිණි.

එම කමිටු වාර්තා මගින් නිර්දේශ කර තිබුණේ, සිද්ධියට සම්බන්ධ පුද්ගලයින්ට නඩු පවරා නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ය.

එහෙත් එම නිර්දේශ ක්‍රියාත්මක නොකිරීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරදට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම නඩුව පවරනු ලැබුවේ ය.