බැඳුම්කර වංචාව සිදු වූ කාලසීමාව තුළ මහ බැංකුවේ CCTV දර්ශන ලබා ගැනීම ආරම්භ කෙරේ

බැඳුම්කර වංචාව සිදු වූ කාලසීමාව තුළ මහ බැංකුවේ CCTV දර්ශන ලබා ගැනීම ආරම්භ කෙරේ

By Hashini De Mel

Jan 18, 2018 | 6:49 am

බැඳුම්කර වංචාව සිදු වූ කාලසීමාව තුළ මහ බැංකුවේ ආරක්ෂිත කැමරාවල දර්ශන ලබා ගැනීම ආරම්භ කර ඇතැයි මහ බැංකුවේ නිලධාරීන්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම්දී තිබේ.

මේ බව අනාවරණය වුයේ, බඳුම්කර වාර්තාවේ යෝජනා ක්‍රියාත්මක කිරීම, නීතිමය තත්ත්වයන් සහ බාහිර කටයුතු පිළිබඳව සොයා බැලීමට ඊයේ ජනාධිපතිතුමා කැඳවා තිබූ සාකච්ඡාවේදී ය.

මෙම සාකච්ඡාව සඳහා නීතිපති, මහ බැංකු අධිපති, අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුලු නිලධාරීන් පිරිසක් එක් ව සිටියහ.

බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් සියලු පාර්ශව මුලික පියවර ගෙන ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, අදාළ සාකච්ඡාව සම්බන්ධයෙන් නිව්ස්ෆස්ට් කළ විමසීමකදී වේ.

කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට හා ඒ පිළිබඳ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවෙන් සිව් දෙනෙකුගෙන් සමන්විත කමිටවුක් පත් කළ බව මෙහිදී නීතිපති ජයන්ත ජයසුරිය පවසා ඇත.

මෙහිදී අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවේ නිලධාරීන් ද පෙන්වාදී ඇත්තේ, වාර්තාව අධ්‍යනය කිරීමට නීති නිලධාරි කණ්ඩායමක් යොදවා ඇති බවයි.

මෙම සාකච්ඡාවට ජාතික ආර්ථික සභාවේ ලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන් මහතා ද එක් ව සිටි බව ජනාධිපති ලේකම් ඔස්ට්න් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ ය.

[youtube url=”www.youtube.com/watch?v=w4HwkUfV8BU&feature=youtu.be” width=”560″ height=”315″]