සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අද දිවයිනට

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අද දිවයිනට

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් අද දිවයිනට

කර්තෘ Sagarika Chathumali

22 Jan, 2018 | 6:40 am

සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි දිවයිනට පැමිණෙන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා ලබන 24 වන දා දක්වා මෙරට රැඳී සිටීමට නියමිතයි.

හෙට දිනයේදි නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමට නියමිතව ඇති අතර පසුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා පවත්වනු ඇති.

ද්විපාර්ශ්වීය සාකච්ඡාවලින් අනතුරුව ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් තැබීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

මෙම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ ආයෝජන සහයෝගිතාව පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන දෙරටේම ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් සහභාගීවන ව්‍යාපාරික සංසදයකට සහභාගී වීමට ද නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

1979 දී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරඹූ ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව, අන්‍යොන්‍ය අවබෝධය, ගෞරවය සහ පුද්ගලාන්තර බැඳීම් මත ගොඩනැඟුණු ශක්තිමත් හා සමීප ද්විපාර්ශ්වික සම්බන්ධතා පවතින අතර සිංගප්පූරු අගමැතිවරයකු ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නියැලෙනුයේ වසර 13කට පසුවයි.

මේ අතර සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයාගේ මෙරට සංචාරය හේතුවෙන් අද පස්වරුවේ මාර්ග කිහිපයක රථ වාහන ධානනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මූලස්ථානය පවසයි.

පොලීසිය පැවසුවේ අද පස්වරුවේ 4.20 න් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට කොළඹ කොටුව දක්වා එලෙස රථ වාහන ධාවනය සීමා කෙරෙන බවයි.

අද පස්වරු 4.30න් පසු කැලනි පාලම, බේස්ලයින් පාර, බණ්ඩාරනායක හන්දිය, ඔරුගොඩවත්ත හන්දිය, ඉංග්‍රම් හන්දිය, බොරැල්ල හන්දිය, ඩී.එස්.සේනානායක හන්දියෙන් දකුණට හැරී හෝර්ටන් පෙදෙස, හෝර්ටන් වටරවුම, ආනන්ද කුමාරස්වාමි මාවත, පුස්තකාල වටරවුම, මල්පාර හන්දිය, ලිබර්ටි වටරවුම, ශාන්ත මයිකල් වටරවුම, ගාලු පාර, ශාන්ත මයිකල් හන්දිය, ගාලුමුවදොර වටරවුම සහ ගාලු මැදපාර යන මාර්ගවගල රථවාහන ගමනා ගමනය සීමා කිරීමට නියමිත බව පොලීසිය පැවසී ය.