වැඩි මිලට පොහොර විකුණන්නන් සොයා මෙහෙයුම්

වැඩි මිලට පොහොර විකුණන්නන් සොයා මෙහෙයුම්

කර්තෘ Hashini De Mel

29 Dec, 2017 | 6:31 am

පොහොර තොග සඟවා වැඩි මිලට විකුණන අළෙවි නියෝජිතයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාතික පොහොර ලේකම් කාර්යාලය පවසා තිබේ.

එහි අධ්‍යක්ෂ, අජිත් පුෂ්පකුමාර මහතා ප්‍රකාශ කළේ, පොහොර හිඟයක් පැවතිය ද කිසිදු අවස්ථාවක පොහොර මිල ඉහළ දැමීමේ සුදානමක් නොමැති බවයි.

කිලෝග්‍රෑම් 50ක පොහොර මිටියක උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 2500 ක් ලෙසිනි.

පවතින පොහොර හිඟය ලබන 31 වන දාට පෙර යථාතත්ත්වයට පත් කිරීමට පියවර ගනිමින් සිටින බව ද අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ ය.

ඔහු සඳහන් කළේ, රජය මගින් ඇණවුම් කළ යුරියා පොහොර මෙට්ට්‍රික් ටොන් 76,000ක් රැගත් නෞකාවක් 31 වන දා මෙරටට ළගාවීමට නියමිත බවයි.

පොහොර හිඟය තවදුරටත් පවතින ත්‍රිකුණාමලය, අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක ඇතුලු සියලු දිස්ත්‍රික්ක වෙත පෞද්ගලික අංශය මගින් මිලදී ගත් පොහොර බෙදා හැරීම සිදු කරන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ අතර ගොවින් පැවසූවේ, පොහොර හිඟය හේතුවෙන් තමන් තවදුරටත් දැඩි දුෂ්කරතාවට පත් ව සිටින බව ය.

එලෙස පීඩාවට පත් ගොවීන් පිරිසක් අම්පාර උහන නගරයේ ඊයේ විරෝධතාවක ද නිරත විය.