සෞදියේ රියාද්හි කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

සෞදියේ රියාද්හි කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

සෞදියේ රියාද්හි කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක්

කර්තෘ Sakila Udayakumara

05 Nov, 2017 | 11:28 am

සෞදි අරාබියේ හදවත බඳු රියාද්හි කිං කලීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, යේමනයේ හූතී කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරය සෞදි ආරක්ෂක අංශ ව්‍යර්ථ කර ඇති බව ය.

උඩු ගුවනේදී ප්‍රතිග්‍රහණය කළ මිසයිලය තමන් විනාශ කළ බව සෞදි ආරක්ෂක අංශ පවසයි.

කෙසේ වෙතත් මිසයිලයේ සුන්බුන් ගුවන්තොටුපොළ සමීපයට පතිත වී තිබේ.

ඉන් කිසිවෙකුටත් අනතුරක් සිදුවී නැතැයි සෞදි ආරක්ෂක අංශ ප්‍රකාශ කළේ ය.

හූති කැරලිකරුවන් හා සබඳතා පවතින යේමන රූපවාහිනී නාලිකාවක් ප්‍රකාශ කර ඇත්තේ, සෞදියේ කිං කලීඩ් ගුවන්තොටුපොළ මිසයිල ප්‍රහාරයේ ඉලක්කය වූ බව ය.

මිසයිල ප්‍රහාරයත් සමග රියාද්හි කිං කලීඩ් ගුවන්තොටුපොළ දෙසින් විශාල පිපුරුම් හඬක් ඇසුණු බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කර තිබේ.

රියාද් නුවර උතුරු ප්‍රදේශයේ පදිංචිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, පිපුරුම් හඬත් සමඟ සිය නිවාසවල ජනෙල් වීදුරු බිඳී ගිය බව ය.

කෙසේ වෙතත් කිං කලීඩ් ගුවන්තොටුපොළේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව සෞදි රාජ්‍ය රූපවාහිනියක් වන අල් අරාබියා නාලිකාව ප්‍රකාශ කළේ ය.

සෞදි අරාබිය 2015 වසරේදී යේමන ආණ්ඩුව පෙරළා දැමීමට හවුල් වූයේ හූති කැරලිකරුවන්ට එරෙහි රාජ්‍ය සභාගයකට නායකත්වය දෙමිනි.

ප්‍රහාරය පිළිබඳ අදහස් දක්වමින් යේමනයේ හූති කැරලිකරුවන් ප්‍රකාශ කර ඇත්තේ, බර්කාන් එච් 2 නමැති දිගු දුර මිසයිලය යොදා ගනිමින් කළ ප්‍රහාරය සාර්ථක බව ය.

මේ පිළිබඳ අදහස් දක්වමින් දේශපාලන විචාරකයින් පවසන්නේ, කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද්ධය, සෞදියේ හදවත බදු රියාද් නුවරට එල්ල වූ මෙම ප්‍රහාරයත් සමග පළමු වරට බැරෑරුම් අවස්ථාවකට එළැඹ ඇති බව ය.