පෙට්‍රල් අර්බුදය තවදුරටත්

පෙට්‍රල් අර්බුදය තවදුරටත්

කර්තෘ Hashini De Mel

05 Nov, 2017 | 7:43 pm

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසල අද දිනයේද දිගු පෝලිම් දක්නට ලැබුණි.

මේ පිළිබඳව කළ විමසීමකදී ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්, උපාලි මාරසිංහ මහතා පැවසුවේ, දෛනික ඉල්ලුමට සැපයීම සඳහා අවශ්‍ය පෙට්‍රල් තොග රජය සතු බවයි .

නමුත්, ඛනිජ තෙල් වෘත්තිය සමිති දක්වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ අදහසකි.

පසුගිය 3 වන දා පසුවරුවේ සිට ඇතැම් ඉන්ධන පිරවුම්හල්වලට පෙට්‍රල් ප්‍රමාණවත් පරිදි නොලැබීම හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය.

හදිසියේ පෙට්‍රල් හිඟයක් රට තුළ මතුවූයේ ඇයි ?

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්, උපාලි මාරසිංහ,

[quote]අපි එක්සත් ආරාබි එමිර් රාජ්‍යයෙන් තෙල් නැවක් ආනායනය කරලා තියෙනවා. ඒ නැව තවත් දවස් දෙකකින් ශ්‍රී ලංකාවට ළඟා වෙනවා ඒ නිසා තෙල් හිඟයක් ඇති වෙන්න කොහොමත් ඉඩක් නැහැ. අපි ළඟත් දැනට මෙට්‍රික් ටොන් 9000ක පමණ තෙල් තොග තියෙනවා සාමාන්‍ය පරිභෝජනය මෙට්‍රික් ටෙන් 1800 – 2000ක් වෙනවා ඒ නිසා අපි කිවා දවසේ පරිභෝජනයට අවශ්‍ය තෙල් නිකුත් කරන්න අසීමිතව තෙල් නිකුත් කරන්න එපා කියලා. අපි දිනපතා ඉල්ලුම සපුරන්න පුළුවන් තෙල් හිඟයක් පිළිබඳව ජනතාව අනිසි බියක් ඇති කරගත යුතු නැහැ.[/quote]

එහෙත් ඛනිජ තෙල් වෘත්තිය සමිති දරන්නේ මෙවන් අදහසකි,

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ සභාපති, බන්දුල සමන්කුමාර,

[quote]මේක ඉන්දියන් ඕයිල් සමාගම හිතා මතා කරපු දෙයක් ඒ අයගේ රිජෙක්ට් වුණ නැව නැවත වතාවක් රට තුළට බාන්න තමා මේ උත්සාහ කරන්නේ. ඒ නිසා තයි ඒ නැව ත්‍රිකුණාමලය ප්‍රදේශයේ නැංගුරම්ලා තියෙන්නේ. ඛනිජ තෙල් සංස්ථාවට එන්න තිබුණ නැව එන්න තිබුනේ 11 වැනි මාසේ 2/3 දවස්වල ලේකම්තුමා කියනවා මං දැක්කා ඇති වෙන්න තෙල් තියෙනවා. කියලා අපි මේ විදිහට මතක් කරන්න කැමතියි ඇති වෙන්න තෙල් තියෙනවා නම් අපේ සේවකයෝ දිවා රෑ නොබලා ඕනිම වෙලාවක රටේ ජනතාවට ඉන්ධන බෙදන්න අපි බැඳිලා ඉන්නවා. තෙල් තියෙනවා නම් මිනිස්සුන්ගේ අවශ්‍යතා සපුරන්න කියලාත් අපි කියනවා.[/quote]

ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ඛනිජ තෙල් ශාඛාවේ ලේකම්, ජයන්ත පරේයිගම,

[quote]දැනට සූදානමක් තියෙනවා ගිය මාසේ ආපු නැව කොළොන්නාව පරීක්ෂණාගාරයෙන් වහනවලට සුදුසු නොමැති නැව ත්‍රිකුණාමලයේ අයි.ඕ.සි එකට බාන්න වගේ සුනමක් තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා රජය එය ගැනීමට ඉඩ නොදෙයි කියලා ඒ එක්කම 8 වන දා රාත්‍රීයේ තමයි අනෙක් නැව එන්න නියමිත එකත් මේ විදහට ප්‍රමිතියෙන් තොර වුනොත් තමයි අපිට තියෙන ප්‍රශ්නය මොකක්ද රට වෙන්නේ සාමාන්‍ය ඔය නැව කොළොන්නාවට පොම්ප කරලා 10 වැනි දාවත් වෙනවා බොදා හරින කොට එතෙක් මේ තියෙන තෙල් ප්‍රමාණවත් නොවන බව තමා අපේ හැඟීම.[/quote]

IOC සමාගම විසින් මෙරටට රැගෙන ආ තෙල් නැව ප්‍රමිතියෙන් තොර වීම හේතුවෙන් මෙම තත්ත්වය උත්ගත වූ බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ දැනුම්දී තිබේ.

එමනේ ම ඛනිජ තෙල් සංස්ථාව විසින් ආනායනය කර ඇති පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000 ක් රැගත් නෞකාව ලෝක නැව් ගමනාගමනය දැක්වෙන මැරිටයිම් ට්‍රැෆික් වෙබ් අඩවියට අනුව අද පස්වරුව වන විට දිස් වූයේ ආරාබි මුහුදු ප්‍රදේශයේයි.

එමෙන් ම IOC සමාගම විසින් බාල තෙල් ගෙනා නෞකාව සැටලයිට් වාර්තා අනුව මේ මස 29 වන දා තංගල්ල මුහුදු ප්‍රදේශයේදී දක්නට ලැබුණා, එම නැව මේ වන විට ත්‍රිකුණාමලය වරයාට ආසන්නයේ ඇති බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් තොරතුරු දැනගැනීමට අප විෂයභාර අමාත්‍ය, අර්ජුන රණතුංග මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක වූයේ නැත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]