බයිසිකලෙන් ගමන් යන කොඳු ඇට හයිය නෙදර්ලන්ත අගමැති.... (VIDEO)

by Sagarika Chathumali 20-10-2017 | 2:26 PM

'රථ ගාය..'

වෛද්‍ය විද්‍යාත්මකව හඳුනා නොගත්ත ද 'රථ ගාය' විශේෂයෙන් මෙරට දේශපාලනඥයින් පිළිබඳ සඳහන් කිරිමේදී  හඳුනා ගත හැකි අමුතු  ම ආකාරයේ රෝගී තත්ත්වයකි. රථවාහන පිරිවරා ගත් මැති ඇමතින්ගේ  ගමන් බිමන් අපේ රටේ මහා මාර්ගවල නිතර දෙවේලේ දැකගත හැකි සුලභ දසුන් ය. අහිංසක ජනතාවගේ ඡන්දයෙන් බලයට පැමිණ මහමග පයින් යන ජනතාවගේ ගමන ද නවතා ඔවුන් මග දෙපසට කර, අපේ රටේ දේශපාලනඥයින් යන ගමන්වල හදිසිය කෙතරම් ද කිව හොත් එය ජීවිතයත් මරණයත් අතර සටනක නිරත රෝගියෙකු රැගත් ගිලන් රථයක වේගයටත් වඩා වේගවත් ය. අපේ රටේ දේශපාලනඥයින් ගිය ඒ ගමනේ වේගයට සාපේක්ෂව රට සංවර්ධනයක් කරා ගියේ නම් අද රට ඇති තැන කොතැන දැයි, හෝ සිතා ගත නොහැකි වනු ඇත. ඡන්ද දායකයා සිය ඡන්දයෙන් ජනතා නියෝජිතයින් පත් කරන්නේ, නිසි ප්‍රතිපත්ති සකසා රට සංවර්ධනයක් කරා ගෙන යාමට වුව ද අසා ඇති කාලයක සිට ශ්‍රී ලංකාව යනු සංවර්ධනය වෙමින් පවතින රටකි.

ලංකාවේ එහෙම වුණත්, නෙදර්ලන්තෙ එහෙම වෙලා නෑ...

අපේ රටේ දේශපාලනඥයින්ට පයින් ගමන් හෝ ගමනාගමනයට පොදු ප්‍රවාහන සේවය අකැප වූවාට ලොව සංවර්ධිත රටවල ඇතැම් නායකයින්ගේ සරළ ජීවන රටාවන්ගෙන් අප රටේ දේශපාලනඥයින්ට පාඩම් උගත හැකි ය. ලොව සංවර්ධිත රටවල් අතරින් ප්‍රමුඛ පෙළේ රටක් වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය මාර්ක් රට් (Mark Rutte) බයිසිකලයකින් එරට විලියම් ඇලෙක්සැන්ඩර් රජතුමා හමුවීම සඳහා රජ මාලිගයට පිටත්ව යන අයුරු පසුගිය දා විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ. අග්‍රාමාත්‍යවරයා සිය බයිසිකලයෙන් මෙලෙස රජ මාලිගයට පිටත්ව ගොස් ඇත්තේ, නව ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳව රජතුමා දැනුවත් කිරීම සඳහායි. රජ මාලිගයට පැමිණෙන අග්‍රාමාත්‍යවරයා මාළිගාව තුළට ඇතුළු වන්නේ, බයිසිකලය ලොක් කර එය ආරක්ෂිත බව තමා විසින් ම තහවුරු කර ගනු ලැබීමෙන් අනතුරුව ය. පෞද්ගලික ගුවන් යානයක් හෝ යොදා ගත හැකි ගමනක් සඳහා බයිසිකලයක් පැදගෙන ගිය නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයාගේ මෙම ගමනට ආරක්ෂක භටයින් පිරිවරා ගත් රථ පෙළපාළි කිසිවක් දක්නට නොවී ය. අපේ රටේ දුප්පත් ඡන්දදායකයා සිය ගමනාගමනය සඳහා භාවිත කරන බයිසිකලය ලොව ධනවත් ම රටක අග්‍රාමාත්‍යවරයෙකුගේ රාජකීය ගමනක් සඳහා භාවිත කිරීම තුළ බොහෝ දේ කියවේ. DMIMBH0UEAA0mMu - Copy DMM2AG8VoAAudPm mark Mark-Rutte-cycle මේ අතර පසුගිය දිනක නෙදර්ලන්තයේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට නෙදර්ලන්ත අග්‍රාමාත්‍යවරයා බයිසිකලයක් තෑගි කළේ ය. PM-Cycle (1) සරළ දිවි පෙවතක් ගෙවන නෙදර්ලන්ත ජනාධිපතිවරයා ජීවත් වන්නේ සුඛෝපභෝගී නිවසක නොවන අතර ඔහු ජීවත් වන්නේ, උපාධිධාරියෙකු වීමෙන් පසු 1992 වසරේ ඔහු මිලදී ගත් මහල් නිවාස සංකීරණයක පිහිටි නිවාසයකයි. එමෙන් ම සිය කාර්ය බහුලත්වය අතරතුර සතියකට එක් පැයක් එරට අඩු සංවර්ධනයක් සහිත හේග් පළාතේ පාසලක ඉගැන්වීම් කටයුතු සඳහා ද නෙදර්ලන්ත අගමැතිවරයා සිය කාලය වැය කරයි. ජනගහනය මිලියන 17ක් සිටින නෙදර්ලන්තය යනු ලොව ධනවත් ම රටවල් අතරින් එකක් වන අතර එරට අගමැතිවරයාට කොතරම් සැප සම්පත් විඳිමින් සැපවත් ජීවිතයක් ගත කළ හැකි ද යන්න රට තොට ගැන තතු දත් ඕනෑ ම අයෙකුට සිතා ගත හැකි ය. [youtube url="https://www.youtube.com/watch?v=tkgAnUXbH8E" width="560" height="315"]

පසුවදන

මෙම සටහන තබන්නේ නෙදර්ලන්ත අගමැති සේ ගමන්බිමන් සඳහා බයිසිකලයක් භාවිත කරන ලෙස ඉල්ලීමට නොව වටිනා ඡන්දය ලබා දී අපේ රටේ දේශපාලනඥයාට 'රථ ගාය' සෑදවීමට ඉඩ ලබා දෙන ඡන්දදායකයාට ත්, මහජන ඡන්දයෙන් බලයට පත්ව රටේ බර අදිමින් පයින් ගමන් යන සාමන්‍ය ජනතාව මග දෙපසට කරවා සැප වාහනවල සැප ගමන් යන දේශපාලනඥයින්ට ත් සිතන්නට යමක් ඉතිරිව ඇති බව පසක් කිරීම සඳහා ය. 1