ජීවිත 239ක් සමග ලොවින් සැඟව ගිය සියවසේ අභිරහස

ජීවිත 239ක් සමග ලොවින් සැඟව ගිය සියවසේ අභිරහස (MH 370..?)

by Sagarika Chathumali 12-10-2017 | 5:13 PM

MH 370....

තාක්ෂණික අතින් 21 වන සියවස ලොව දියුණුවේ හිනිපෙත්තට නැග ඇතැයි, ඇතැම් විට ඔබ සිතනවා විය හැකියි.

එහෙත් එකී තාක්ෂණයට හසුවන්නට සාක්ෂියක ඉඟියක් හෝ ඉතිරි නොකර ලොවින් සැඟව ගිය අභිරහසක් ලෙස MH 370 ගුවන් යානයේ අතුරුදන්වීම අද වන විට ඉතිහාසයට එක්වී හමාර ය. තවදුරටත් ලෝකය පාලන කරනු ලබන්නේ, අභ්‍යවකාශය පවා ජය ගත් මිනිසා විසින් ම ද යන්නට තවදුරටත් ප්‍රශ්නාර්ථයක් එක් කළ සිදුවීමක් ලෙස මෙය හඳුන්වා දිය හැකි ය. ගුවන් ඉතිහාසයට පිළිතුරක් නැති ප්‍රශ්නයක් ඉතිරි කර දෙමින් MH 370 ගුවන් යානය අතුරුදන් වීමට අදාළ විමර්ශන කළ ඔස්ට්‍රේලියානු විමර්ශකයින්ගේ අවසන් වාර්තාව පසුගිය දා නිකුත් කෙරිණ. වාර්තාව නිකුත් කරමින් ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ අධිකාරිය පැවසුවේ, යානය සොයා ගැනීමට නොහැකි වීම පිළිබඳව තමන් දැඩි ලෙස කනගාටුවට පත්වන බව ය. යානයට සිදුවූයේ කුමක් දැයි සිතා ගැනීමට හෝ පිළිගත හැකි සාක්ෂියක් නොමැතිවීම අදහාගත නොහැකි සිදුවීමක් බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ව තිබුණේ මෙලෙසිනි.

''දෛනිකව මිලියන 10ක් තරම් මගීන් ගුවන් ගමන්වල යෙදෙන මෙවන් නූතන යුගයක මෙවන්නක් කිසිසේත් සිදුවිය නොහැකියි. එසේම පිළිගත නොහැකියි, විශාල ගුවන් යානයක් අතුරුදන්වීම, සහ සත්‍ය ලෙස ම යානයට සිදුවූයේ, කුමක් ද? එහි සිටි මගීන්ට සිදුවූයේ, කුමක් ද? යන්න දැන ගැනීමට නිශ්චිත ඉඟියක් හෝ නොමැතිවීම පුදුමයට කරුණක්''

MH 370 අවසන් ගුවන් ගමන...

  මගීන් 239 දෙනෙකු සමග මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර ගමන ඇරඹූ MH370 දරන ගුවන් යානය  අතුරුදන් වූයේ 2014 වසරේ මාර්තු 8 වන දා ය. යානය අතුරුදන් වන අවස්ථාවේ එහි සිට මගීන්ගෙන් 154 දෙනෙක් චීන ජාතිකයෝ වූහ. යානය රේඩාර් පද්ධතියෙන් ගිලිහී ඇතැයි, සන්නිවේදනය වූ මොහොතේ ගුවන් යානයක් අතුරුදන් වූ බවට වන පුවත ලොවපුරා ලැව් ගින්නක් සේ පැතිරිණ. මැලේසියාව, ඔස්ට්‍රේලියාව, චීනය ඇතුළු ලොව රටවල් රැසක් ගුවන් යානයට සිදුවූයේ කුමක් දැයි, සෙවීමට යානය අතුරුදන් වූ බව පැවසෙන මුහුදු කලාපය සිසාරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කළේ ය. කෙසේ වෙතත් මෑතක් වන තුරු ම බොහෝ රටවල් මෙහෙයුම් කටයුතුවලට සම්බන්ධ වී සිටි අතර මැලේසියාව සහ චීනය සෝදිසි මෙහෙයුම්වලින් ඉවත් වූයේ, පසුගිය ජනවාරි මාසයේදී ය. සිදුවීමෙන් දින 52කට පසුව ගුවන් මෙහෙයුම් අතහැර දැමුණු අතර පසුව යානය පිළිබඳ හෝඩුවාවක් සොයා සාගර කලාපයේ මෙහෙයුම් ආරම්භ කෙරිණ. MH370 යානය සෙවූ මෙහෙයුම ගුවන් ඉතිහාසයට එක්වන්නේ, ගුවනේ සහ මුහුදු පතුලේ සිදුකළ අතිදැවැන්ත මෙහෙයුමක් ලෙසිනි. අතුරුදන් යානය සෙවීම සඳහා කුඩා රොබෝ සබ්මැරීනයක් ඇතුළු අතිනවීන තාක්ෂණික උපකරණ ද භාවිත කෙරිණ. යානය කඩා වැටෙන්නට ඇතැයි, අනුමාන කෙරුණු වර්ග කිලෝමීටර් 120,000 ක තරම් ප්‍රදේශයක සෝදිසි කළ ද අද වන තෙක් යානය පිළිබඳ වූ බලාපොරොත්තු පුස්සක් බවට පත් ව ඇත. 2015 සහ 2016 වසරවලදී MH 370 යානයේ බවට සැක කෙරුණු සුන්බුන් කොටස් අප්‍රිකාවට නැගෙනහිරින් වූ මුහුදු කලාපයේ මෙන් ම ඉන්දීය සාගර කලාපයේ ද පාවෙමින් ඇති බවට අවස්වාථා කිහිපයකදී ම වාර්තා පළ විය. පසුව විමර්ශකයෝ සුන්බුන් ගසාගෙන යන දිශාව සහ ඒවායේ චන්ද්‍රිකා ඡායාරූප උපයෝගී කර ගනිමින් එම ප්‍රදේශවල ද මෙහෙයුම් දියත් කළහ. 2014 වසරෙන් පසු විවිධ මුහුදු කලාපවලින් හමු වූ සුන්බුන් කොටස් මෙම යානයේ බවට සැක පළ වුවත් ඒ කිසිවක් අතුරුදන්වූ මැලේසියානු ගුවන් යානයේ බවට සනාථ නොවී ය. මහ මුහුද සිසාර සිදුකළ සෝදිසි මෙහෙයුම් පළක් නොවූ තැන යානය කඩා වැටී නැති බවටත් එය කිසියම් හෝ ස්ථානයකට එය ගොඩ බස්වා ඇති බවට ද වාර්තා පළ විය. එහෙත් එම වාර්තා සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති කල එය ද හුදු මතයක් පමණක් වී ඇති බව සඳහන් කළ යුතු ය. ලෝකයේ ප්‍රබල රටවල් රැසක් එක්ව අතිවිශාල මුදල් ප්‍රමාණයක් වැය කරමින් නවීන තාක්ෂණය ද යොදා ගනිමින් සාගරය පීරමින් සෙවූ අතුරුදන් MH 370 ගුවන් අනතුර ගුවන් ඉතිහාසයේ සදාකාලික අභිරහසක් ලෙස ලෝකයෙන් සැඟවී යනු ඇති. pic_giant_032014_SM_The-Mystery-of-MH370 MH370.jpg MH370 search flightmh370sr INDONESIA-MALAYSIA-MALAYSIAAIRLINES-CHINA-TRANSPORT-ACCIDENT CORRECTION-PHILIPPINES-MALAYSIA-MALAYSIAAIRLINES-ACCIDENT TOPSHOTS-MALAYSIA-CHINA-VIETNAM-MALAYSIAAIRLINES-TRANSPORT-ACCID Officer looks out of a helicopter during a mission to find Malaysia Airlines flight MH370 that disappeared, near Tho Chu island