ජාතික විගණන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

ජාතික විගණන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

ජාතික විගණන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට

කර්තෘ Sakila Udayakumara

03 Oct, 2017 | 6:42 am

අවස්ථා ගණනාවකදී ප්‍රමාද වූ ජාතික විගණන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

විගණන පනත් කෙටුම්පතට ඉදිරිපත් කළ සංශෝධන සමාලෝචනයට පත් කළ අමාත්‍ය අනුකමිටුවේ සභාපති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේ, කැබිනට් අනුමැතියෙන් පසු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන බව ය.

පසුගිය අගෝස්තු 4 වන දින විගණන පනත් කෙටුම්පතට අදාළ කැබිනට් සංදේශය ඉදිරිපත් කෙරිණි.

එම කැබිනට් සංදේශය පිළිබඳව අගෝස්තු 9 වන දින සාකච්ඡාවට ලක්වූ අතර අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින්ට නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා සති 2ක කාලයක් ලබා දීමට තීරණය කළේ ය.

එම සති 2ක කාලය අගෝස්තු 22 වන දායින් අවසන් වීමට නියමිතව තිබියදී අගෝස්තු 15 වන දින රැස්වූ කැබිනට් මණ්ඩලය කැබිනට් අනුකමිටුවක් පත් කිරීමට පියවර ගත්තේ ය.

එම අනුකමිටුව සාමාජිකයින් 6 දෙනෙකුගෙන් සමන්විත ය.

ආචාර්ය සරත් අමුණුගම, රවුෆ් හකීම්, අනුර ප්‍රියදර්ශන යාපා, මංගල සමරවීර, සුසිල් ප්‍රේමජයන්ත හා තිලක් මාරපන යන අමාත්‍යවරුන්ගෙන් කමිටුව සමන්විත වේ.

අදාළ අනුකමිටුව අගෝස්තු 15 වන දා සිට සති 3ක කාලයක් ඇතුළත වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට තීරණය විය.

කෙසේ වෙතත් කමිටුවේ කටයුතු ආරම්භ වී මාස එකහමාරකට අධික කාලයක ගත වීමෙන් අනතුරුව කමිටු සාමාජිකයින්ගේ නිර්දේශ සහිතව ජාතික විගණන පනත් කෙටුම්පත අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වනු ඇති.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විගණන සේවා කොමිසම ස්ථාපිත කළ අතර එය බලගැන්වෙන්නේ විගණන පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසුව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]