සෞඛ්‍ය ඇමතිගේ නියෝගය පවා ක්‍රියාත්මක නොවන බන්ධනාගාර රෝහල

සෞඛ්‍ය ඇමතිගේ නියෝගය පවා ක්‍රියාත්මක නොවන බන්ධනාගාර රෝහල

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 7:29 pm

වැලිකඩ බන්ධනාගාර රෝහලේ අක්‍රමිකතා වැළැක්වීම සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා දුන් නියෝග තවමත් ක්‍රියාත්මක වී නැතැයි එහි වෛද්‍යවරුන් පිරිසක් චෝදනා කරති.

විවිධ වැරදිකරුවන් හා සැකකරුවන් නිසි ක්‍රමවේදය කඩ කරමින් බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ගැනීම ඇතුළු අක්‍රමිකතා ගණනාවක් පිළිබඳව එහි වැඩබලන කාර්යභාර වෛද්‍ය නිලධාරිණී නිර්මලී තේනුවර මහත්මියට පසුගිය දිනවල චෝදනා එල්ල විය.

මේ සම්බන්ධයෙන් බන්ධනගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් පිරිසක් සෞඛ්‍ය අමාත්‍යවරයාට පැමිණිලි කළ අතර අමාත්‍යවරයා එහිදී නියෝග කළේ, ඇයට ස්ථාන මාරුවක් ලබා දී වැඩබලන කාර්යභාර වෛද්‍ය නිලධාරී තනතුරට ජේ.කේ. මල්වත්තගේ මහතා පත් කරන ලෙස ය.

නමුත් එම වෙනස්කම සිදු කරනවා වෙනුවට මීට පෙර බන්ධනාගාර රෝහලේ සේවය කළ විනය පරික්ෂණවලදී වරදකරු වී දඬුවම් ලැබූ අයෙකු අදාළ තනතුරට පත් කර ඇතැයි වෛද්‍යවරු චෝදනා කරති.

එම පුද්ගලයාගේ සහය ඇතිව වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය තවදුරටත් බන්ධනාගාර රෝහලේ රෝගී පරික්ෂාව ඇතුළු කටයුතුවල නිරත වන බව දන්වමින් එම වෛද්‍යවරු පසුගිය 18 වන දා සෞඛ්‍ය අමාත්‍යවරයාට ලිපියක් ද යොමු කළහ.

එම ලිපියට බන්ධනාගාර රෝහලේ සේවය කරන වෛද්‍යවරුන් 18 දෙනා අතරින් 12 දෙනෙකු ම අත්සන් කර තිබේ.

එහි දැක්වෙන්නේ, වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මිය විවිධ වරප්‍රසාද ලබා ගනිමින් ඇයට හිතවත් වරදකරුවන් හා සැකකරුවන් සාධාරණ හේතු නොමැතිව බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමට පසුබිම සකස් කරන බව ය.

සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නියෝගය නොතකා තවදුරටත් රාජකාරීවලට සම්බන්ධ වන ඇය දැනට සිදු කරන පරික්ෂණවලට බලපාන ලියකියවිලි පවා වෙනස් කිරීමේ අවදානමක් මතුව ඇතැයි වෛද්‍යවරු අනතුරු අඟවති.

කෙසේ වෙතත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් නිෂාන් ධනසිංහ මහතා පැවසුවේ, වෛද්‍ය නිර්මලී තේනුවර මහත්මියගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් තමන්ට මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ය.