සඳරුවන් සේනාධීරට සැමදා සැඟවී සිටිය හැකි ද?

සඳරුවන් සේනාධීරට සැමදා සැඟවී සිටිය හැකි ද?

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 8:20 pm

වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් එහි විවිධ අපහාසාත්මක ප්‍රකාශ පළ කරන බව කියන සඳරුවන් සේනාධීර නමැත්තාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පවරා ඇති නඩුව අද යළි විභාගයට ගැනිණි.

මෙම පුද්ගලයා මේ වන විට අධිකරණය මගහරමින් සැඟවී සිටියි.

සඳරුවන් සේනාධීර නමැත්තා කැනඩාවේ හෝ බ්‍රිතාන්‍යයේ පදිංචි බවට තොරතුරු ලැබී ඇති බැවින් එම රටවල තානාපති කාර්යාල හරහා ඔහුට නොතීසි නිකුත් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේ ය.

අධිකරණයට හා විනිසුරුවරුන්ට එරෙහිව අසත්‍ය තොරතුරු පළ කළ සඳරුවන් සේනාධීර නමැත්තාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා නීතිඥ මධුර විතානගේ මහතා ගොනු කළ පෙත්සමකට අනුව මෙම නඩුව විභාග වේ.

එම පෙත්සම් සලකා බැලීම ලබන වසරේ පෙබරවාරි 20 වන දා කැඳවීමට ඊවා වනසුන්දර, කේ.ටී. චිත්‍රසිරි හා විජිත් මලල්ගොඩ යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද තීරණය කළේ ය.

මේ අතර සඳරුවන් සේනාධීර වැනි වෙබ් මාෆියා කරුවන් විද්‍යා ඝාතන නඩුවට ද බලපෑම් කළ බව ජනාධිපති නීතිඥවරයා අද අනාවරණයක් කළේ ය.

අසභ්‍ය වෙබ් සහ නෝර්වේ සිට පවත්වාගෙන ගිය වෙබ් අඩවිය අවහිර කිරීම හා ප්‍රවිශ්ඨය වැළැක්වූ අයුරින් සඳරුවන් සේනාධීර නමැත්තා පවත්වාගෙන යන වෙබ් අඩවිය ද අවහිර කළ හැකි ය.

එසේ නොවන්නේ නම් අධිකරණය මග හරිමින් සැඟවී සිටින සඳරුවන් සේනාධීර නමැත්තා අසත්‍ය තොරතුරු වෙබ් අඩවිවල පළ කරමින් රටේ කීර්ති නාමය තවදුරටත් කෙළෙසනු ඇත.

මේ පුවත අප වාර්තා කිරීමත් සමග ඔහු යළිත් අප ද ඉලක්ක කරමින් අසත්‍ය පළ කරනු ඇත.

එම අවලාද හා මඩ දැකීමෙන් වඩාත් සතුටු වන්නේ මොහුගේ මඩ ප්‍රචාරක වෙබ් අඩවිවලට රජයේ මුදල් යෙදවූ තනතුරු අහිමි වූ හිටපු ප්‍රබල ඇමතිවරුන් ය.

සඳරුවන් සේනාධීර නමැත්තාට කිසි දිනක මෙරටට පැමිණීමට නොහැකි ය.