විද්‍යා සිවලෝගනාදන් ඝාතකයින් බෝගම්බරට

විද්‍යා සිවලෝගනාදන් ඝාතකයින් බෝගම්බරට

විද්‍යා සිවලෝගනාදන් ඝාතකයින් බෝගම්බරට

කර්තෘ Sagarika Chathumali

28 Sep, 2017 | 8:32 am

යාපනය විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියෙහි වරදකරුවන්වූ පුද්ගලයින් ඊයේ රාත්‍රියේ පල්ලේකැලේ දුම්බර පිහිටි බෝගම්බර බන්ධනාගාරයට ගෙන එනු ලැබී ය.

 

යාපනය පුංකුඩිතිව්හි ශිවලෝගනාදන් විද්‍යා දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරුවන්වූ 7 දෙනෙකුට ඊයේ යාපනය මහාධිකරණයේදී මරණ දඩුවම නියම කළේ, ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.

එහිදී වැරදිකරුවන්ට මරණ දඬුවම නියමවූයේ විනිසුරුවරුන් තිදෙනාගේම එකඟත්වය මතයි.

යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත විය.

ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කළ බවට චෝදනා ලද චූදිතයින් පෙරවරුවේ දැඩි ආරක්ෂක රැකවල් මැද අධිකරණයට ඉදිරිපත් කළ අතර පස්වරු 1. 25 ට තීන්දුව ප්‍රකාශ කෙරිණ.

මෙහිදී මරණ දඬුවම නියමවූයේ බුබාලසිංහම් ජෙයකුමාර්, බුබාලසිංහම් තවකුමාර්, මහාලිංගම් ශසිදරන්, තිලේනාදන් චන්ද්‍රහාසන්, ශිවනේෂන් දුෂාන්තන්, ජෙයනාදන් කෝකිලන්, සහ ස්විස්කුමාර් හෙවත් මහාලිංගම් ශෂීකුමාර් යන අයටයි.

වරදකරුවන් 7 දෙනාට මරණ දඬුවමට අමතරව බරපතළ වැඩ සහිත අවුරුදු 30 ක සිරදඬුවම් නියම කෙරුණු අතර 2,3,5,6,8 යන වරදකරුවන්ට රුපියල් 40,000 බැගින් දඩයක් ද හතර සහ නමය යන වරදකරුවන්ට රුපියල් 70,000 බැගින් වූ දඩයක් ද නියම කෙරිණ.

එය ගෙවීමට නොහැකි වුවහොත් අතිරේක මාස 4 ක සිර දඩුවමක් ද පැනවෙනු ඇති.

ශිවලෝගනාදන් විද්‍යා දැරියගේ පවුලේ අයට වැරදිකරුවන් 7 දෙනා රුපියල් මිලියනය බැගින් ගෙවිය යුතුබව ද ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ය.

එය ගෙවීමට නොහැකි වුවහොත් තවත් වසර දෙක බැගින් සිර දඬුවම් පැනවෙනු ඇති.

පළවෙනි විත්තිකරුවූ බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් සහ හත්වන විත්තිකරුවූ රූපසිංහම් කුගනාදන් නිදොස් කොට නිදහස් කරනු ලැබුණේ, චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත්වී ඇතැයි තීරණය කරමිනි.