විද්‍යාට සාධාරණය ඉටු වීමට පමා වුණේ ඇයි? – විනිසුරු එම්. ඉලංචෙලියන් හෙළි කරයි

විද්‍යාට සාධාරණය ඉටු වීමට පමා වුණේ ඇයි? – විනිසුරු එම්. ඉලංචෙලියන් හෙළි කරයි

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 9:11 pm

විද්‍යා ඝාතන නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අපරාධකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම විය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අපරාධකරුවන්ට රැකවරණය දුන් තිදෙනෙකු පිළිබඳව අනාවරණය කළේ ය.

යාපනය මහාධිකරණයේදී ඊයේ දහවල් විද්‍යා ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් චෝදනා එල්ල වූ විත්තිකරුවන් 9 දෙනාගෙන් 7 දෙනෙකු අදාළ චෝදනාවලට වැරදිකරුවන් බව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බැවින් ඔවුන් 7 දෙනාට මරණීය දණ්ඩනය නියම කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ප්‍රකාශ කළේ ය.

නිදහස් කළ එක් සැකකරුවෙකු යළිත් රක්ෂිත බන්ධනාගාරගත කළේ, ඔහුට එරෙහිව ඇති වෙනත් චෝදනා හේතුවෙනි.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට පෙර යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලංචෙලියන් මහතා නඩු විභාගය පැවැති කාලයේදී තමා අධ්‍යයනය කළ කරුණු පිළිබඳව ප්‍රකාශයක් කළේ ය.

ඔහු කියා සිටියේ, 2015 මැයි 17 වන දා සුවිස් කුමාර් නමැත්තා පුංකුඩුතිව් සිට යාපනය බලා ගමන් කරද්දී වේලනයි ප්‍රදේශයේ ජනතාව ඔහු අල්ලා ලණුවකින් ගැට ගසා තිබූ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් මහත්මිය මැදිහත්ව තමා නිදහස් කළ බව සුවිස් කුමාර් අධිකරණය හමුවේ තහවුරු කළ බව ය.

සුවිස් කුමාර්ට පහර දුන් දිනයේදී රාත්‍රී 11.00 ට පමණ එහි පැමිණි විජේකලා මහත්මිය ඔහු සසීගේ සහෝදරයා දැයි විමසා සුවිස් කුමාර්ව නිදහස් කරන ලෙස ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටීම හොඳ දෙයක් බව විනිසුරුවරයා මෙහිදී ප්‍රකාශ කළේ අවඥාවෙනි.

සුවිස් කුමාර්ව නිදහස් කරන්නැයි එම අවස්ථාවේදී ඉල්ලීමක් කළ විජේකලා රාජ්‍ය අමාත්‍යවරිය ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීම හෝ පොලීසියට භාර කොට නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හෝ කටයුතු කර නොමැත.

එවක යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා සුවිස් කුමාර් අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළ ද උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් සහ කයිට්ස් හිටපු පොලිස් ස්ථානාධිපති ක්වින්ටස් පෙරේරා යන මහත්වරුන් එය ක්‍රියාත්මක කර නැතැයි විනිසුරුවරයා සඳහන් කළේ ය.

මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා තීන්දුව දෙමින් පැවසුවේ, හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතා ඇතුළු නිලධාරීන් කිහිප දෙනෙකුගේ ක්‍රියාකලාපය නඩුව විභාග කර අවසන් කිරීමට වසර 2 ක පමණ කාලයක් ගත වීමට හේතු වූ බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]