තජූඩීන් ඝාතනය වූ දින ජනාධිපති කාර්යාලයේ දුරකතන ඇමතුම් ගැන පුළුල් පරික්ෂණයක්

තජූඩීන් ඝාතනය වූ දින ජනාධිපති කාර්යාලයේ දුරකතන ඇමතුම් ගැන පුළුල් පරික්ෂණයක්

කර්තෘ Sakila Udayakumara

28 Sep, 2017 | 7:46 pm

රගර් ක්‍රීඩක වසීම් තජූඩීන් ඝාතනය සිදුවූ දින ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට නාරාහේන්පිට පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයා ඇතුළු පුද්ගලයින් රැසකට ලබා දී ඇති දුරකතන ඇමතුම් රාශියක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබේ.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොක්සි මහතාට මේ කරුණු දැනුම් දුන්නේ ය.

ඔහු පැවසුවේ, ඒ පිළිබඳව දීර්ඝ ලෙස විමර්ශනය කරමින් ඇති බව ය.

එම දුරකතන ඇමතුම් ඔස්සේ සිදු කරන විමර්ශන අනුව එකී අපරාධයට සම්බන්ධ තවත් පුද්ගලයින් කිහිප දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු ඉදිරියේදී අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේ ය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවල ප්‍රගතිය ලබන නොවැම්බර් 08 වන දා අධිකරණයට වාර්තා කරන ලෙසට අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ටොක්සි මහතා අද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ය.

මේ අතර කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ගොනු කර ඇති ප්‍රතිශෝධන අයැදුම්පත සම්බන්ධයෙන් ලිඛිත දේශන ලබන දෙසැම්බර් මස 12 වන දා ගොනු කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද නීතිපතිවරයාට නියෝග කළේ ය.

මහාචාර්ය ආනන්ද සමරසේකර මහතාගේ නීතිඥවරයා අද ලිඛිත දේශන අධිකරණය හමුවේ ගොනු කළේ ය.

රගර් ක්‍රීඩක වසීම් තජූඩීන්ගේ පශ්චාත් මරණ පරික්ෂණයේදී ඉවත් කර ගත් අස්ථි කොටස් අතුරුදන් වීම සම්බන්ධයෙන් තමාව අත්අඩංගුවට ගැනීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව දරණ උත්සහය වළක්වා අපේක්ෂිත ඇපයක් නියම කරන ලෙස මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා ඉල්ලා තිබිණි.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ නියෝගය ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා ඔහු මහාධිකරණයට එම ප්‍රතිශෝධන අයැදුම්පත ඉදිරිපත් කර තිබිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]