දින 898කට පසු විද්‍යාට යුක්තිය ඉටුවෙයි : විද්‍යාගේ ශෝකාන්තය දෙස ආපසු හැරී බැලීමක්

by Sagarika Chathumali 27-09-2017 | 7:04 PM

යාපනය පුංකුඩිතිව්හි සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ස්විස් කුමාර් ඇතුළු චූදිතයින් හත් දෙනෙකුට යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල මරණ දඬුවම නියම කළේ ය.

  යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසගර් ඉලන්චෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශීමහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙසින් එය ප්‍රකාශයට පත් කළේ ය. සිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධීයේ චුදිතයින් නව දෙනා අද උදෑසන 8 .30 ට පමණ යාපනය අධිකරණ පරිශ්‍රයට රැගෙන ආ අතර එම අවස්ථාවේ අවට ආරක්ෂාව ද තර කර තිබිණ. නඩු විභාගයේ කටයුතු ආරම්භ කෙරුණේ, පෙරවරු 10.5ට පමණ ය. පස්වරු 1.25 ට අධිකරණයේ විදුලි පහන් නිවා දැමුණේ, තීන්දුව ප්‍රකාශයට පත්කිරීම සඳහායි. දඬුවම් නියම කිරීමට පෙර විත්කරුවන්ට යම් ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය නම් ඒ සඳහා අවස්ථාව දුන් අතර එහිදී ඔවුහු තමන් නිවැරදිකරුවෝ බව ප්‍රකාශ  කළෝ ය. නඩුවේ 4 වන විත්තිකරු තමන් නිවරදිකරු බවට ප්‍රකාශකරනවාත් සමග විද්‍යා දැරියගේ මව අධිකරණ භූමියේ ක්ලාන්තව ඇද වැටීම  සංවේදී සිදුවීමක් විය. සභාපති විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් මහතා පස්වරු 1.25 ට තින්දුව ප්‍රකාශයට පත්කළ අතර එහිදී නඩුවේ දෙවැනි තෙවන , සිව්වන, පස්වන සහ හයවන, අටවන , නවවන සැකකරුවන් වරදකරුවන් බවට පත්කරමින් මරණ දඬුවම නියම කෙරිණ. මෙහිදී අද අදාළ වරදකරුවන්ට ලබාදෙන සෙසු දඬුවම් වෙන වෙනම ප්‍රකාශයට පත්කෙරුණු අතර මරණ දඬුවමට අමතරව ඔවුන් සත්දෙනාට ම බරපතළ වැඩසහිත අවුරුදු 30 ක සිරදඬුවම් නියම කෙරුණු අතර ‍දෙවන, තුවන්වන, පස්වන, හයවන, අටවන වරදකරුවන්ට රුපියල් 40,000 බැගින් දඩයක් ද සිව් වන සහ නව වන සැකකරුවන්ට රුපියල් 70,000 බැගින් වූ දඩයක් ද නියම කෙරිණ. ඔවුන්ට එය ගෙවීමට නොහැකි වුවහොත් අතිරේක මාස 4 ක සිර දඩුවමක් පැනවෙනු ඇති. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ තවත් සුවිශේෂි තීරණයක් වනුයේ සිවලෝගනාදන් විද්‍යා දැරියගේ පවුලේ අය සඳහා අදාළ වැරදිකරුවන්  සත්දෙනාට රුපියල් මිලියන බැගින් ගෙවිය යුතු වීමයි. එය නොගෙවනු ලැබුවහොත් ඔවුන්ට තවත් වසර දෙක බැගින් වූ සිර දඩුවම් පැනවෙනු ඇති. පළමු වන සහ සත් වන සැකකරුවන් මෙහිදී නිදොස් කොට නිදහස් කෙරිණ. ඒ, අධිචෝදනා ලබා සිටි එම විත්තිකරුවන් දෙදෙනාට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කිරීමට පැමිණිල්ල අපහොසත් වී යැයි, තීරණය කරමිනි. 1.  බුබාලසිංහම් ඉන්ද්‍රකුමාර් 2. බුබාලසිංහම් ජෙයකුමාර් 3. බුබාලසිංහම් තවකුමාර් 4. මහාලිංගම් ශසිදරන් 5. තිලේනාදන් චන්ද්‍රහාසන් 6. ශිවනේෂන් දුෂාන්තන් 7. පලනි රූපසිංහම් කුගනාදන් 8. ජෙයනාදන් කෝකිලන් 9. ස්විස්කුමාර් හෙවත් මහාලිංගම් ශෂීකුමාර් මෙහි චූදිතයින් වූ අතර ඔවුන් අතරින් පළමු වන හා  සත් වන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කෙරිණ.

මෙහිදී මහාධිකරණ විනිසුරු එම්. ඉලංචෙලියන් මහතා ප්‍රකාශ කළේ, ඝාතන නඩුව වසර දෙකක පමණ කාලයක් ගතවීමට හේතු වූයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ ක්‍රියා කලාපය බවයි.

විද්‍යා ඝාතන නඩුව විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්..

වසර දෙකකට ආසන්න කාලයක් අධිකරණයේ පැවති විද්‍යා ඝාතන නඩු විභාගයට නව ප්‍රවේශයක් ලැබුණේ, පසුගිය මැයි මාසේ 05 වනදා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ එය විභාග කරන ලෙස නීතීපති දෙපාර්තමේන්තුව කළ ඉල්ලීමක් අනුවයි. ඒ අනුව නඩු විභාගය සඳහා එම මස 23 වෙනිදා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පත්කෙරිණ. ජුනි මස 28 දා සිට ඉදිරියට පැවති නඩු විභාග කටයුතුවලදී අනාවරණයන් රැසක් සිදුකර ගැනීම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමත්විය. මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් සශීමහේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විද්‍යා ඝාතන නඩුව විභාග කිරීම ඇරඹීමට පෙර එය විභාග කෙරුණේ, කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි විභාගය ඇරඹෙයි...

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ නඩුව පළමු වරට විභාගයට ගත් දිනයේ වැඩබලන නීතිපති දප්පුල ඩී. ලිවේරා අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ, ප්‍රධාන සැකකරු ස්විස් කුමාර් විද්‍යා අපයෝජනයට ලක් කරන දර්ශන පටිගත කිරීමේ අදහසින් ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බවයි. ඔහු පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්තයේ පිහිටි ආයතනයකට අදාළ දර්ශන අලෙවි කර මුදල් ලබා ගැනීම සැකකරුගේ අරමුණ වී තිබූ බවයි. ස්විස් කුමාර් දකුණු ආසියානු රටවල මෙවැනි අපරාධ කර ඒවා අලෙවි කර මුදල් ලබා ගන්නා පුද්ගලයෙකු බව ද එහිදී හෙළි විය. සැකකරුවන් නව දෙනා දැරිය සමූහ ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කළ බවට සාක්ෂි ඇති බව ද එදින වැඩබලන නීතිපතිවරයා පැවසී ය. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යොමු කළ නඩු භාණ්ඩ දහසයක් විද්‍යාගේ මව ඉදිරියේ වෙන වෙන ම හඳුනා ගැනීමට ඉදිරිපත් කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබිණ. ඝාතයට ලක්වන අවස්ථාවේ දැරිය ඇඳ සිටි පාසල් නිල ඇඳුම හඳුනාගත් මව එම අවස්ථාවේ බොහෝ වේලාවක් අධිකරණය හමුවේ හඬා වැටිණ. එතෙක් අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවන් යාපනය බන්ධනාගාරයට මාරු කරන ලෙස අධිකරණය එහිදී නියෝග කළේ ය. 2017. 8 . 29 වන දා විද්‍යා ඝාතනයට අදාළව විත්තිකරුවන්ගෙන් සාක්ෂි විමසීම අවසන් කෙරිණ.  

ප්‍රධාන සැකකරු ස්විස් කුමාර්ගේ සාක්ෂිය....

නඩුවේ ප්‍රධාන විත්තිකරු වූ ස්විස් කුමාර්ගේ බිරිඳ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ, සිද්ධිය වූ දිනයේ සිය සැමියා තමන් සමග කොළඹ ලැගුම්හලක සිටි බවයි. මේ අතර 2015 මැයි මස 17 වන දා පුන්කුඩුතිව් ප්‍රදේශයට යමින් සිටියදී තමන් වේලනෙයි ප්‍රදේශයේ ජනතාව කණුවක බැඳ පහර දුන් බව ස්විස් කුමාර් එදින අධිකරණය හමුවේ කියා සිටියේ ය. එදින රාත්‍රියේ අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය තමන් ඔවුන්ගෙන් මුදා ගැනීමට කටයුතු කළ බව ද විත්තිකරු ප්‍රකාශ කළේ ය. එසේ කිරීමට හේතුව ඇයගෙන් ම විමසිය යුතු බව විත්තිකරු වැඩිදුරටත් කියා සිටියේ ය. උප පොලිස් පරීක්ෂක ශ්‍රී ගජන් තමා යාපනය පොලීසියට කැඳවා ගොස් පසුව නිදහස් කළ බව ද ඔහු ප්‍රකාශ කළේ ය. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සිදු වූ නඩු විභාගයේ තෙවන දිනයේදී (2017.06.30) යළිත් කරුණු රැසක් අනාරවණය විය . මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් වූ තවත් නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෘදුකාංග ඉංජිනේරුවරයෙකු විද්‍යා ඝාතන නඩුවට අදාළව සාක්ෂි ලබා දුන්නේ ය. ස්විස් කුමාර් නමැති ප්‍රධාන සැකකරු සහ මොහු අතර සම්බන්ධතාවක් තිබූ බව ද එදින අධිකරණය හමුවේ අනාවරණ වී තිබේ. එහිදී දිගින් දිගට ම කළ සාක්ෂි විමසීම් හමුවේ හෙළි වී තිබුණේ, අදාළ ඉංජිනේරුවරයා සහ වව්නියාව බන්ධනාගාරයේ සිටින විට ස්විස් කුමාර් හමුවී ඇති බවයි. සැකකරු සඳහන් කර ඇත්තේ, තරුණියක් දූෂණ කරන ආකාරය පටිගත කළ වීඩියෝ පටයක් ස්විට්සර්ලන්තයේ මාෆියා කණ්ඩායමකට එවන ලෙසට ඉල්ලීමක් කර ඇතැයි, ස්විස් කුමාර් තමාට පැවසූ බවයි. Suwis Kumar

හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහට ත් චෝදනා ....

විද්‍යා ඝාතන සිද්ධියේ සැකකරුවෙකුට පළා යාමට අධාර අනුබල ලබා දීමේ චෝදනා මත එවකට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ 2017 .06. 15 වන දා අත්අඩංගුවට ගැනිණ. පසුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර පොලිස් කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සේවය (2017.06.21) දා අත්හිටුවීය. රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දින 57 කට පසුව කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණය දැඩි කොන්දේසි මත දා ඇප ලබා දුන්නේ ය. ලලිත් ජයසිංහ සේවයෙන් ඉවත් කර ඇති බැවින් පරීක්ෂණවලට මැදිහත්වීමට අවස්ථාවක් නොමැති බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරයා එහිදී ඔහු මුදා හැරීමට නියෝග කළේ ය. DIG-Lalith-Jayasinghe

42 වන සාක්ෂිකරුගේ සාක්ෂිය....

නඩුවේ 42 වන සාක්ෂිකරු වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී පියාගම සිසිර තිසේරා මහතා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ,  ස්විස් කුමාර් හෙවත් සසිකුමාර් සිද්ධියෙන් පසු බේරී පලායාමේ සිදුවීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ දුරකතනයෙන් තමා දැනගත් බවයි. සැකකරු යාපනය පොලිස් ස්ථානයට රැගෙන ගොස් නිදහස් වූ බවත් තමා දැනගත් බව ඔහු ප්‍රකාශ කළේ ය. ස්විස් කුමාර් යළි අත්අඩංගුවට පත්කර කයිට්ස් අධිකරණය හමුවට ඉදිරිපත් කරන විට ඔහුට දැඩි ආරක්ෂාව ලබාදී තිබූ බව අනාවරණය කළ සාක්ෂිකරු ජනතාව කම්පනයට පත්කරන ආකාරයෙන් දැරියගේ දේහය නිරුවත්ව තිබීම තුළින් මෙය පළිගැනීමේ අරමුණකින් සිදුකළ සිද්ධිය කැයි තමා දැනගත් බව ද කියා සිටියේ ය. අධිකරණයේදී සාක්ෂිකරු ස්විස් කුමාර් හඳුනාගත් අතර ඔහු කියා සිටියේ සැකකරුවන් සතුව තිබී පොලිස් භාරයට ගත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මොරටුව විශ්වවිද්‍යාලයට යවා පරීක්ෂා කළ බවයි. මේ අතර ස්විස් කුමාර් මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ දැරූ බව ද එදින (2017.06.20) හෙළිවිය. පරීක්ෂණය සිදු කළ නිශාන්ත ද සිල්වා මහතාට රුපියල් මිලියන 20ක් ලබාදී තමා සහ තමාගේ සහෝදරයාව රජයේ සාක්ෂීකරු ලෙස පත්කරන ලෙස මෘදුකාංග ඉංජිනේරුවරයාට ස්විස් කුමාර් පවසා ඇති බව සාක්ෂිකරු කියා සිටියේ ය.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සාක්ෂිය

යාපනය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී මයුරන් අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ, දැරියගේ දේහයේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ තුවාල 8ක් දැකගත හැකි වූ බවයි. දැරියගේ ලිංගික ප්‍රදේශවල තුවාල තිබූ බවත් එය අතවරයකින් වූ බව සනාථ කිරීමට හැකි වූ බවත් ඔහු අධිකරණය හමුවේ සාක්ෂි දෙමින් වැඩිදුරටත් පැවසී ය.

තරුණයාගේ සාක්ෂිය

නඩුවේ 5 වන සාක්ෂිකරු ලෙස නම් කර සිටි තරුණයෙකු 2017. 06.29 වන දා අධිකරණය හමුවේ සාක්ෂි දුන් අතර ඔහු සිද්ධියේ 10 වන සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන පසුව රජයේ සාක්ෂිකරුවෙකු ලෙස නම් කළ අයෙකි. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් කුමර රත්නම් හරස් ප්‍රශ්න නගමින් සැකකරු මිය ගිය දැරිය සමග ප්‍රේම සම්බන්ධයක් පැවතියේ දැයි, විමසා තිබේ. පුංකුඩුතිව් ප්‍රාදේශීය සභාවේ රියැදුරෙකු ලෙස කටයුතු කළ පෙරියතම්බි හෙවත් උපෂාන්තන් නමැති පස් වන සැකකරු එහිදී පවසා ඇත්තේ, මෙම දැරියට ඒක පාර්ශවික ප්‍රේමයක් ප්‍රකාශ කළ බවයි. නමුත් සැකකරුගේ ඉල්ලීම ඇය දිගින් දිගට ම ප්‍රතික්ෂේප කළ බව සාකාෂිකරු සඳහන් කළේ ය. විද්‍යා දැරිය පාසල් යන එන වේලවන්හිදී ඇය පසුපසින් යතුරු පැදියෙන් යන පෙරියතම්බි සමග තමන් ද අවස්ථා ගණනාවකදී ගමන් කළ බව සාක්ෂිකරු පැවසී ය. ඔහු විවෘත අධිකරණයයේදී කියා සිටියේ අපාරාධය සිදුවීමට මාස එකහමාරකට පෙර සැකකරුට විද්‍යා සෙරෙප්පු පහරක් එල්ල කළ බවයි. එම සිද්ධියෙන් පසුව පෙරියතම්බි විද්‍යා සමග අමනාපයෙන් සිටි බවයි. විද්‍යා පැහැර ගැනීමට රුපියල් 20000ක පමණ මුදලක් ලබාදීමට හැකි බව සැකකරු තවත් අයෙකුට පවසා ඇතැයි, ද අනාවරණය විය. පසුගිය 13 වන දා සාක්ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සම්පූර්ණයෙන් අවසන් කෙරිණ.

විද්‍යාගේ ශෝකාන්තය

2015.05.13 වනදා පාසල් යාමට නිවසින් පිටවන විද්‍යා යළි නිවස වෙත නොපැමිණෙන අතර ඇය අතුරුදන් වී ඇති බවට තතු පළ වීමත් සමග  ගම්දනව් පීරමීන් ප්‍රදේශවාසීහු ඇය සොයන්නට වූහ. පසුව එනම් 2015.05.14 වන දා කැලෑ සහිත ප්‍රදේශයක තිබී විද්‍යාගේ නිරුවත් සිරුර හමුවීය. දැරියගේ සිරුර හමුවීමෙන් පසු රටේ බොහෝ ප්‍රදේශවල විරෝධතා ක්‍රියාත්මක වූ අතර අපරාධයට සැකපිට තිදෙනෙකු අත්අඩංගුවට පත් වන්නේ, 2015.05.15 වනදා ය.

අධිකරණයට මල් මිටක්

ප්‍රේමවතී මනම්පේරී, රීටා ජොන්ස් ,සේයා සදෙව්මි වන ඉතිහාසයේ සිදූවූ මෙවන් මිලේච්ඡ ඝාතන අපරාධ රැසක් සම්බන්ධව යුක්තිය පසඳලීම වෙනුවෙන් සෑම අවස්ථාවකදී ම අධිකරණය ඉටුකළ කාර්භාර්ය අතිශයින් ම පැසසිය යුත්තකි. කඩතොලු තුළින් විවිධ බලපෑම් උපයෝගි කරගනිමින් නීතියෙන් රිංගායාමට අපරාධකරුවන් දැරූ සියලු උත්සහායන් ව්‍යර්ථ කරමින් ඓතිහාසික නඩු තීන්දු රැසක් මෙරට අධිකරණ ඉතිහාසයට එක්කිරීමට එම විනිසුරුවරු සමත් වූහ. පසුගිය මාස කිහිපය තුළ යාපනය මහාධිකරණ විනිසුරු මානිකවාසගර් ඉලංචෙලියන්, ත්‍රිකුණාමල මහාධිකරණ විනිසුරු අන්නලිංගම් ප්‍රේම්ශංකර් හා වව්නියාව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂිමහේන්ද්‍රන් යන ත්‍රිපුද්ගල විසනිසුරු මඩුල්ල මෙන්ම නීතීපති දෙපාර්තමේන්තුව , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිවලෝගනාදන් විද්‍යා දැරියට යුක්තිය ලබාදීම වෙනුවෙන් ඉටු කළේ ද එවැනි ඓතිහාසික කාර්යභාරයකි.

මරණ දඬුවම ක්‍රියාත්මක නොවන හෙයින් විද්‍යාගේ ඝාතකයින් ජීවිත කාලය පුරා ම බන්ධනාගාරගතව සිටිනු ඇති.

සියල්ල අවසානයේ ඝාතකයින් නඩත්තු වන්නේ, මලක් මෙන් රැක ගත් සිය දයාබර දියණියගේ වියෝව වෙනුවෙන් ජීවිත කාලය පුරාවටම විඳවන විද්‍යාගේ අසරණ දෙමාපියන් ද ඇතුළු රටේ නිවැරදි ජනතාව ගෙවන බදු මුදලින් බව ද සඳහන් කළ යුතු ය...

[youtube url="https://www.youtube.com/watch?v=7LoyDS61Tqo" width="560" height="315"] image_68df1609c3