එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා ම‍ණ්ඩල සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා ම‍ණ්ඩල සැසිවාරය අද ඇරඹේ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා ම‍ණ්ඩල සැසිවාරය අද ඇරඹේ

කර්තෘ Sakila Udayakumara

19 Sep, 2017 | 6:50 am

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා ම‍ණ්ඩල සැසිවාරය අද ආරම්භ වේ.

ඒ, අමෙරිකාවේ නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද අද සමුළුව ඇමතීමට නියමිත ය.

මේ අතර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව සංවිධාන කෙරුණු එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය සභාවේ සැසිය ඊයේ පස්වරුවේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේදී පැවැත්විණි.

රාජ්‍ය නායකයින් පමණක් සහභාගී වූ මෙම සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එක්විණි.

ලෝක රාජ්‍යන්ගේ සාමූහික සංවිධානය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉදිරි ගමන කෙසේ විය යුතු ද යන්න පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කාර්යක්ෂමතාවය තවදුරටත් වැඩිකර ගැනීම, සහයෝගීතාව ප්‍රවර්ධනය මෙන් ම පරිපාලන වියදම් අඩුකර ගනිමින් සාමාජික රටවලට වැඩි ප්‍රතිලාභ හිමිවන අයුරින් කටයුතු කිරීම පිළබඳව මෙහිදී පුළුල් අවධානයක් යොමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙම සැසිය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එක්ව තිබේ.

අද ආරම්භ වන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සාමාජික රටවල් 193ක රාජ්‍ය නායකයින් හා නියෝජිතයින් සහභාගී වීමට නියමිත ය.

දෙවන ලෝක යුද්ධයෙන් අනතුරුව 1945 වසරේ සාමාජික රටවල් 51ක සහභාගීත්වයෙන් ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අරමුණ වූයේ ලෝක සාමය ස්ථාපිත කිරීම ය.