ලොකු ළූණු වගාවට නරක දසාවක්

ලොකු ළූණු වගාවට නරක දසාවක්

කර්තෘ Hashini De Mel

18 Sep, 2017 | 7:47 pm

අධික වර්ෂාවත් සමග පැතිරයන දිලීර රෝගයක් හේතුවෙන් ලොකු ළූණු වගාවට දැඩි හානී සිදුවී තිබේ.

කෘෂි රක්ෂණ මණ්ඩලයට අනුව දඹුල්ල ප්‍රදේශයේ වගා කර ඇති බිම් ප්‍රමාණයන් 50% ක් පමණ බලපෑමට ලක් ව ඇත.

ශ්‍රී ලංකාවේ වාර්ෂික ලොකු ළූණු අවශ්‍යතාවයෙන් 35% – 40% ත් අතර ප්‍රමාණයක් දේශිය ව නිෂ්පාදනය කෙරේ.

මාතලේ, අනුරාධපුර, කුරුණෑගල හා පොළොන්නරුව දිස්ත්‍රික්ක ආශ්‍රිත කරන මෙම වගාව විශේෂයෙන් වැසි අඩු යල කන්නයට සීමා වුවකි.

අනපේක්ෂිත ලෙස පසුගිය කාලයේ ලැබුණු වැසි හේතුවෙන් වගාබිම්වල අවශ්‍ය ප්‍රමාණයට වඩා ජලය පැවතීම තුළ ළූණු බල්බ කුණුවීම හා වගාව ආශ්‍රිතව දිලීර රෝග ව්‍යාප්ත වීමට බලපා ඇත.

කෘෂි රක්ෂණ මණ්ලයට අනුව ගොවීන් 1000කට පමණ අයත් ළූණු වගා බිම් අක්කර 1100 ක් පමණ මෙලෙස විනාශයට පත් ව තිබේ.

ඉන් ගොවීන් 200 කට ආසන්න සංඛ්‍යාවක් තම මණ්ඩලය යටතේ රක්ෂණය වී ඇති අතර ඔවුන් සඳහා ඉදිරියේදී වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති, සිඩ්නි ගජනායක මහතා ප්‍රකාශ කළේ ය.

කෙසේ වෙතත් වගා හානීයට පත් වූ 900 ක් පමණ වන සෙසු ගොවීන් සඳහා වන්දි ලබාදීමේ හැකියාවක් තමන්ට නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින්නේ, ගොවීන් මුහුණදී ඇති මෙම ආපදා තත්ත්වය සලකා ඔවුන්ට ද යම් සහනයක් ලබාදෙන ලෙස ය.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක, නාමල් කරුණාරත්න,

[quote]ලොකු ළූණු බීජ කිලෝ එකක් සඳහා රුපියල් 18,000 – 20,000 අතර වැය වෙනවා. බිම සකස් කිරීම සඳහා කානු සකස් කිරීම සඳහා විශාල පිරිවැයක් ගොවියට දරන්න සිද්ද වෙනවා. ලොකු ළූණු කිලෝ එකක් වෙනුවෙන් ගෙවියට රුපියල් 60 – 70 අතර පිරිවැයක් යනවා. ඒක නිසා මේක ආපදා තත්ත්වයක් ආපදවක් අවට පස්සේ වන්දි ලබාදෙන ක්‍රමවේදයක් රටේ තිබෙනවා. ඒ නිසා මේ ගොවියට ආවෙත් ආපදාවක් මේ අපදාවට වන්දි ගෙවන්න ඕනේ. ඒ නිසා අපි ආණ්ඩුවට බල කරලා තියනවා ලොකු ළූණු ගොවියාට සාධාරණ වන්දියක් ලබාදෙන්න. කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිස් ගොඩනැගිල්ලට කොටි ප්‍රකොටි ගණනන් සල්ලි පොම්ප කරන්න මේ ආණ්ඩුවට සල්ලි තිබෙනවා නම් මැති ඇමතිවරුන්ට සැප ගන්න සැප වාහන ගන්න කොටි ප්‍රකොටි ගණන් මුදල් තියෙනවා නම්, ඇයි මේ අහිංසක ගොවියට වන්දියක් ලබාදෙන්න බැරි කියන ප්‍රශ්නය අපි අහනවා[/quote]

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]