පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කරවලින් ලාභ ඉපයූ හැටි ජනපති කොමිසමේදී හෙළිවෙයි

පර්පෙචුවල් ට්‍රෙෂරීස් බැඳුම්කරවලින් ලාභ ඉපයූ හැටි ජනපති කොමිසමේදී හෙළිවෙයි

By Hashini De Mel

Sep 12, 2017 | 7:56 pm

පර්පෙචුවල් කැපිටල් සමාගමේ අධිපති අර්ජුන් ඇලෝසියස් මහතා හෙට බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින බව ඔහු වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද දැනුම්දී තිබේ.

අද විමර්ශන නිලධාරීන් ඇලෝසියස් මහතාගේ නිවසට ගොස් බැංකු ප්‍රකාශ ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇත.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී, කසුන් පාලිසේන මහතාගෙන් අද කොමිසම ඉදිරියේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා හරස් ප්‍රශ්න නගා තිබේ.

බැඳුම්කර ගනුදෙනුවලදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභ ඉපයූ ක්‍රමයක් මෙහිදී අනාවරණ විය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනත් ප්‍රාථමික හා ද්විතියික වෙළෙඳපොළේ ගැණුම්කරුවන්ගෙන් විශාල වශයෙන් බැඳුම්කර මිලදී ගැනීම සිදුකර ඇත.

පසුව පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ ඇති අනෙකුත් සමාගම්වලට ඒවා අළෙවි කිරීම සිදුවේ.

ඒත් සමගම ඒ සමාගම් යළි ත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට එම බැඳුම්කර අළෙවි කරන්නේ ලාභයක් සහිතවේ.

අනතුරුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාභයක් තබාගෙන එම බැඳුම්කර සේවක අර්ථ සාධක අරමුදලට අළෙවි කර ඇත.

උදාහරණයක් ‍ලෙස පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 600 ක් වටිනා බැඳුම්කර ලංකා බැංකුවෙන් වෙල්ත් ට්‍රස්ට් සිකියුරිටි සමාගමෙන් සහ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමෙන් රුපියල් මිලියන 620.5 කට මිලදී ගෙන තිබේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එම බැඳුම්කර තමන්ට අනුබද්ධ සමාගමක් වන ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමට පසුව අළෙවිකර ඇත්තේ රුපියල් මිලියන 707.9 යි.

ඉන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම රුපියල් මිලියන 87.4 කට අධික ලාභයක් උපයා තිබුණි.

එම බැඳුම්කර පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම යළි ත් ඩබ්ලිව්.එම්.මෙන්ඩිස් සමාගමෙන් මිලදී ගන්නේ රුපියල් මිලියන 710.1ට වේ.

ඉන් ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම අත්කරන්නා ලාභය රුපියල් මිලියන 2.5 කි.

මෙම බැඳුම්කර නැවත මිලදී ගැනීමෙන් අනතුරුව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම එය සේවක අර්ථසාධක අරමුදලට අළෙවි කරන්නේ රුපියල් මිලියන 729.3ට වේ.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ඉන් අත් කරගන්නා ලාභය රුපියල් මිලියන 19.3 කි.

නීතිපති දෙපාර්තමේන්තුවට අනුව පර්පෙචුවල් කැපිටල් හෝල්ඩින්ග්ස් සමාගම සමග ඇතිකරගත් ගනුදෙනුවලදී මෙම ක්‍රමවේදය භාවිත කර තිබේ.

සේවක අර්ථ සාධක අරමුදල සහ අනෙකුත් රජයේ පාර්ශව වෙතට සුරැකුම්පත් විකිණීමේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අතරමැදියෙකු ලෙස පෑන් ඒෂියා බැංකුවේ ගැණුම්කාර අංශය භාවිත කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මිලින්ද ගුණතිලක මහතා අද කොමිසමේදී පැවසුවේ ය.

ඔහු අවධාරණය ක‍ළේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අසීමිත ලාභ උපයා ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලට හා අනෙකුත් රජයේ පාර්ශවයන්ට අඩු අනුපාතවලට සුරැකුම්පත් විකිණිමෙන් බවයි.

කසුන් පාලිසේන මහතා මෙය ප්‍රතික්ෂේප කළ ත් එය මීට පෙර පැමිණි සාක්ෂිකරුවන්ගෙන් ඔප්පු වී ඇති බව නීතිඥවරයා කියා සිටියේ ය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පෙන්වා දුන්නේ, මෙම අනුපාත පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම අනෙක් පාර්ශව සමග ඇතිකරගත් ගනුදෙනුවල අනුපාතවලට වඩා අඩු අගයක් බවයි.

අතිරේක සොලිසිටර් ජෙනරල් ප්‍රියන්ත නාවාන මහතා අද ජනාධිපති නීතිඥවරයෙකු ලෙස දිවුරුම් දුන්නේ ය.

මේ පත්වීමත් සමග කොමිසමේ නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන කණ්ඩායමට ජනාධිපති නිතීඥවරුන් 3දෙනෙකු ඇතුළත් වන බවයි.

10 දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායම මෙහෙයවන්නේ වැඩබලන සොලිසිටර් ජෙනරාල් දප්පුල ද ලිවේරා මහතා වේ.

[youtube url=”www.youtube.com/watch?v=JISuF47frys” width=”560″ height=”315″]

අනුජ ප්‍රේමරත්න   අර්ජුන් ඇලෝසියස්   කසුන් පාලිසේන   ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම   දප්පුල ද ලිවේරා   පර්පෙචුවල් ට්‍රෙෂරීස්   පෑන් ඒෂියා බැංකුව   මිලින්ද ගුණතිලක