රෆායල් නඩාල් තෙවන වරටත් අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගනී

රෆායල් නඩාල් තෙවන වරටත් අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගනී

By Sagarika Chathumali

Sep 11, 2017 | 6:59 am

ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් තුන්වන වරටත් අමෙරිකානු විවෘත ටෙනිස් කිරුළ දිනා ගත්තේ ය.

එය ඔහු දිනූ 16 වන ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතාවයයි.
වසරේ අවසන් ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය වන අමෙරිකා විවෘත ටෙනිස් තරගාවලිය මෙවර 137 වන වරට පැවැත්විණ.

නිව්යෝක්හිදී අද නිමා වූ එහි අවසන් තරගයේදී සුපිරි ටෙනිස් ක්‍රීඩක ස්පාඤ්ඤයේ රෆායල් නඩාල් සමගින් තරග වැදුණේ දකුණු අප්‍රිකාවේ කෙවින් ඇන්ඩර්සන් සමගයි.

ඔහු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියක අවසන් තරගයකට පිවිසි පළමු දකුණු අප්‍රිකානු ජාතිකයා වේ.

තරගයේ පළමු වටයේ සිට ම සිය සුපුරුදු දක්ෂතා දැක් වූ නඩාල් පළමු සහ දෙවැනි වට ජය ගත්තේ ලකුණු 6ට 3ක් ලෙසයි.

තුන්වන වටයේදී ඇන්ඩර්සන් ඉදිරියට පැමිණිය ද ඔහුට එම වටය ජය ගැනීමට නොහැකි විය.

නැවතත් ක්‍රියාත්මක වූ නඩාල් එම වටය ජය ගත්තේ ලකුණු 6ට 4ක් ලෙසයි.

ඒ අනුව වට 3ට 0ක් ලෙස නඩාල් තරගය ජය ගත්තේ ය.

නඩාල් මෙම වසරේ දිනූ දෙවැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලිය මෙයයි.

ඔහු මෙම වසරේ ප්‍රංශ විවෘත ටෙනිස් තරගා වලිය ද ජය ගත්තේ ය.