කතුවැකිය: ජේ.ආර්.ට වැරදුණේ, කොතැන ද…?

කතුවැකිය: ජේ.ආර්.ට වැරදුණේ, කොතැන ද…?

කර්තෘ Sakila Udayakumara

23 Aug, 2017 | 9:06 am

1977 මැතිවරණයෙන් 6 න් 5ක ජයක් ලැබූ ජේ.ආර්. ජයවර්ධන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව මෙරට ආර්ථිකය විවෘත කළේ ය.

ආර්ථිකය විවෘත කිරීම නිසා බෙහෝ නරක මෙන් ම බොහෝ හොඳ ද ඇති විය.

විචාරකයින් පවසන්නේ, හොඳට වඩා නරක වැඩි වූ බවයි.

6න් 5ක ජයක් ලද ජේ.ආර්. ජයවර්ධන මහතා අගමැති වූ අතර පසුව ව්‍යවස්ථාව වෙනස් කොට 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා මෙරට පළමු විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත් විය.

77 මහා මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා කියා සිටියේ කොල්ලකාරි සිටුවරුන්ට (Let robber barrons Come) එන්න ඉඩ හරිමු යන්නයි.

එහි අරුත වන්නේ, විදේශ ආයෝජකයින් මෙරටට ගෙන්වා ගත යුතුය යන්නයි.

එහෙත් එම ධන කුවේරයන් කොල්ලකාරි සිටුවරුන් බව ජේ.ආර්. ජයවර්ධන වටහා ගෙන සිටියේය.

එහෙත් ඔවුන්ට අප කොල්ලකෑමට අවස්ථාව නොදිය යුතු බව ඔහුගේ අදහස් විය.

ජේ.ආර්.ගේ දර්ශනය එසේ වුවත් පසුව විවෘත ආර්ථිකය ශ්‍රී ලාංකීය ජන සමාජයට අකටයුතුකම් රැසක් සිදු කළේය.

ශීඝ්‍ර සංවර්ධනයක් 77 පසුව අපේ ගම් පළාත්වල ද සිදුවිය.

වෙළ මැදින් දැවන්ත ලයිට් කණු සිටවනු ආපි දුටුවෙමු.

එම ලයිට් කණු අතර දැවන්ත බණ්ඩි ගැසුණු කම්බි අදිනු අපි දුටුවෙමු.

වී කුරුල්ලන්ට, ලිහිණින්ට, දිය කාවන්ට නම් එම කම්බි ලැගුම්හළක් බඳු විය.

වෙළ මැදින් තිබූ ගුරු පාර දැවන්ත බුල්ඩෝසර්වලින් තලා තාර පාරක් කරනු අපි දුටුවෙමු.

ගමට එළිය දෙන්නට පැමිණි ලොවි ගෙඩියක් වැනි භූමිතෙල් කරත්තය එදා සිට ගමට පැමිණියේ නැත.

ඒ වෙනුවට සෑම ගෙයකටම විදුලිය ලබා ගැනීමේ අවස්ථාව උදා විය.

ගම්මුන් හේනේ කුඹුරේ වැඩ කොට රාත්‍රි සුවසේ නිදා ගත් යුගය අවසන් වී රූපවාහනිය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නැරඹීමට ඇබ්බැහි වූ යුගයක් ඇරඹිණ.

ගමට ලයිට් පැමිණ ජීවිතය ආලෝකමත් කළේ ද යන්න නැවත සිතන තරමට ගමේ සංවර්ධනය කෘර විය.

අපට කුඹුර නැති විය. ඇණිකට් එක නැති විය.

කුඹුර වෙනුවට කර්මාන්ත ශාලා ඉදිවිය.

විශාල දුම්රොටු නගින චිමිනියක් සහික කර්මාන්ත ශලාවට ගමේ තරුණ තරුණියන් වැඩට ගියේත් ගෙදර ආවේත් සිනහවක් නම් මුවෙහි රඳවා ගෙන නොවේ.

සේවා මුරය හඟවන නළාව මහ මූසල විදානයක් බඳුවිය.

ශ්‍රමය සූරා කෑමට ලක්විය. වෙළෙඳ කලාප තුළ සිනහවට වඩා ඉකිබිඳින හඩ පැතිරිණ. ගංගා, ඇළදොළ වාතය දූෂණය විය. අපේ සිත ද ගත ද දූෂණය වූවේ නැතැයි, කීම අසත්‍යයකි.

වෘවත ආර්ථිකයේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විදිමු.

සෑම නිවසකම හෝ අප දන්නා අයෙකුට පිළිකාවක් ඇත.

සෑම නිවසකම හෝ අප දන්නා අයකු ඇදුම රෝගීන් බවට පත්ව ඇත.

මානසික ව්‍යාධීන් බොහෝ ය.

කොල්ලකාරි සිටුවරු අපට දුන් දේට වඩා රැගෙන ගිය දේ බෙහෝ ය.

අපට අපේ නොවන අපේ ම රටක් නිර්මාණය විය.

ජේ.ආර්.ට වැරදුණේ, කොතැන ද…?