බොරු කියන්නේ කවුද ?

බොරු කියන්නේ කවුද ?

කර්තෘ Sakila Udayakumara

11 Aug, 2017 | 9:22 pm

2015 මහ බැංකු වංචාව ගැන මාධ්‍ය කතා කරද්දී බොහෝ දෙනෙකුට එය අවබෝධ නොවිණි.

එහෙත් දැන් ඒ සංකීර්ණ ගනුදෙනුවේ ස්වභාවය අවබෝධ වී තිබේ.

ජනතාවට ඉන් සිදුවූ හානිය ද හොඳින් ම අවබෝධ වී තිබේ.

ජාතික ගෙවීම් වේදිකාව සහ එහි ඩිජිටල් උපදේශන සැපයුම් බලය වැනි කරුණු සංකීර්ණ බව කෙනෙකුට පෙනී යන්න පුළුවනි.

ඒත් මේ හරහා සිදුවන අක්‍රමිකතාවලට පරම්පරා ගණනක් ගෙවීමට සිදුවනු ඇති.

හර්ෂ ද සිල්වා
[quote]ඩිජිටල් මෙහෙයුම් බලයක් කිසි කෙනෙක් හට ලබා දීමට මහ බැංකුව විසින් අයි.සී.ටී.ඒ. ආයතනයට ලබා දී නැත. යම් කිසි කෙනෙක් කියනවා නම් එහෙම බලයක් තියෙනවා කියලා කියන්න ඒ ආයතනයට කිසිම නීතිමය හැකියාවක් නැහැ[/quote]

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසුව ද ටෝටල් පේ සමාගම ප්‍රසිද්ධ කර ඇති ලියැවිල්ලේ සඳහන් වන්නේ, ජාතික ගෙවීම් වේදිකාවට ඩිජිටල් උපදේශන සපයන්නෙකු ලෙස මෙහෙයුම් අයිතිය අයි.සී.ටී.ඒ. ආයතනය විසින් ලබා දී ඇති බව ය.

ඊට අමතරව ඔවුන්ට අන්තර් බැංකු ගිණුම් අතර ගනුදෙනු කිරීමට ද අවසර ඇති බව ඔවුන් පවසයි.

මෙය අයි.සී.ටී.ඒ. ප්‍රධාන විධායක මුහුන්තන් කනගේ මහතා ද ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.

හර්ෂ ද සිල්වා
[quote]ටෙලිෆෝන් එක තිබ්බහම බස් ටිකට් එක ගන්න පුළුවන් ක්‍රමයක්. ඒක අපි කවුරුත් දන්නවා. ඊසී කෑෂ් යනාදී වශයෙන් තියෙනවා. නමුත් මේ සියලු අධීක්ෂණ කටයුතු මහ බැංකුව හරහා සිද්ධ විය යුතුයි[/quote]

රාජ්‍ය ඇමතිවරයා අද එසේ පැවසුවත් ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳ අතීත කතාවේ එවැන්නක් සඳහන් නොවේ.

එවක මුදල් ඇමතිවරයා ලෙස රවි කරුණානායක මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුව ජාතික ගෙවීම් වේදිකාවේ නියාමන හා අධීක්ෂණ බලය මහ බැංකුව සතුව ඇතැයි සඳහන් වුවත් පසුව මුහුන්තන් කනගේ මහතා පත් කළ විද්වත් කමිටු වාර්තාවේ එය සම්පූර්ණයෙන් ම නොසලකා හැර තිබිණි.

මේ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරමින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා 2016 ජූලි 16 වන දා එවක මුදල් අමාත්‍යවරයාට ලිපියක් යවා තිබිණි.

ඔහු අමාත්‍යවරයාට දන්වා තිබුණේ, කනගේ මහතා පත් කළ කමිටු වාර්තාවේ මහ බැංකුව සතු නියාමන හා අධීක්ෂණ බලය නොසළකා හැර ඇති බව ය.

මේ වරද වත්මන් මුදල් ඇමතිවරයා සහ රාජ්‍ය ඇමතිවරයා මීට සති කිහිපයකට පෙර නිවැරදි කළහ.

මීට අමතරව අයි.සී.ටී.ඒ. ආයතනය ඩිජිටල් උපදේශන සපයන්නකු සඳහා 2015 ජූලි 03 වන දා දැන්වීම් ප්‍රසිද්ධියට පත් කර තිබුණි.

එම වසරේ සැප්තැම්බර් 9 වන දින ඩේලිමිරර් පුවත්පත වාර්තා කළ පරිදි ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම සඳහා සමාගම් 12 ක් කැමැත්ත පළ කර ඇති බව ත් ඉන් 3ක් තෝරාගෙන ඇති බව ත් මුහුන්තන් කනගේ මහතා අනාවරණය කර තිබේ

එහෙත් ටෝටල් පේ සමාගම ලියාපදිංචි කර තිබුණේ 2016 මාර්තු 1 වන දින ය.

දුර්කා චෙල්ලරාම්, ස්ටීව් එප්රුම්ස්, ඉෂාන් නිරෝෂන් ලෙවිස් පෙරේරා, රාධ ක්‍රිෂ්ණන් සෙන්දුරම්, ඊෂ්වරන් සුබ්‍රමනියම් යන පුද්ගලයින් අධ්‍යක්ෂ ධූර දරණ මේ සමාගම අදාළ කාර්යයට තෝරාගෙන ඇත්තේ ලියාපදිංචි වීමටත් පෙර ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]