කතුවැකිය: අද මඩ සෝදා ගන්නටවත් ගොවියාට වතුර නැත

කතුවැකිය: අද මඩ සෝදා ගන්නටවත් ගොවියාට වතුර නැත

By Sakila Udayakumara

Aug 19, 2017 | 10:55 am

හරි හෝ වැරදි මිනිහෙකුට ප්‍රතිපත්තියක් තිබිය යුතු ය.

යම් පුද්ගලයෙතු නිවැරදි ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කරනවා විය හැකි ය .

එමෙන් ම තවත් අයෙකු ඔහුට නිවැරදි යැයි සිතෙන එහෙත් සම්මතයට අනුව වැරදි ප්‍රතිපත්තියක සිට ක්‍රියා කරනවා විය හැකි ය.

මෙම පුද්ගලයින් දෙපළ ම හරි හෝ වැරදි කුමන හෝ ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කිරීම අගය කළ යුතු ය.

මන්ද මඩේ සිටවන ලද ඉන්නක් මෙන් කිසිදු ප්‍රතිපත්තියක් නැති මිනිසුන්ට වඩා හරි හෝ වැරදි නිශ්චිත ප්‍රතිපත්තියක සිටින මිනිසුන් වටී.

සමාජයේ කුඩා ම ඒකකය වන කුටුම්භය නැතහොත් නිවසේ ප්‍රතිපත්ති, තීරණ වැරදුණු විට එම පවුල අර්බුදයට යයි.

එමෙන් ම රටක ප්‍රතිපත්ති, තීරණ වැරදුණු විට එම රට අර්බුදයට යාම වැළැක්විය නොහැක.

අපේ රටේ ප්‍රතිපත්ති තීරකයින් නිසි සැලසුමකට රට මෙහෙයවන ලද්දේ නම් ජලය සොරකම් කරන තත්ත්වයට රට පත් වන්නේ නැත.

මුදල් සොරකම් කළ ද වෙනත් බඩු භාණ්ඩ සොරකම් කළ ද ආදරය සොරකම් කළ ද මෙතෙක් වතුර සොරකම් කළ බවක් ලංකාවෙන් වාර්තා නොවිණි.

එහෙත් පවතින දැඩි නියඟය හමුවේ පසුගියදා රජරට ගොවීන් වතුර සොරකම් කරන බවට චෝදනා නැගිණි.

වාරි ජලය රැක ගැනීමට පොලීසිය යෙදවීමට ද බලධාරීන්ට සිදු විය.

මන්ද ඇළ මාර්ගය ඔස්සේ තවත් වැවක් වෙත ජලය නිකුත් කළ පසු එම ඇළ මාර්ගයේ මැදදී ජලය සොරකම් කරන බැවින් පිරවීමට අපේක්ෂා කරන වැව වෙත ජලය ගමන් නොකරයි.

මේ නිසා අදාළ ඇළ මාර්ගය දෙපස පොලිස් ආරක්ෂාව යෙදවීමට බලධාරීහු පියවර ගත්හ.

කොළඹ මිනිසුන් පානීය ජලයෙන් නැතහොත් නළ ජලයෙන් එසේත් නැතිනම් පිරිපහදු ජලයෙන් වාහන සෝදද්දී වගාවටත්, බීමටත් දුර බැහැර රට වැසියන්ට ජලය සොරකම් කීරීමට සිදුවූයේ ඇයි?

වස්සාන සමයේ වැව් පුරවා ගත්තේ නම් නියඟයේදී එම ජලය භාවිතයට ගැනීමට තිබිණි.

එසේ වූයේ නම් අපගේ අහිංසක වැදගත් ගොවියා ජල සොරෙකු නොවන්නට ඉඩ තිබිණි.

නිසි පරිදි වැව් ප්‍රතිසංස්කරණයට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන සැලසුමකට ඒවා ක්‍රියාත්මක කළේ නම් අපේ ගම්වැසියා ජල සොරෙකු නොවනු ඇත.

සුදු කර පටි බල පුළුවන්කාරයින් බැඳුම්කරයෙන් කෝටි ගණන් මුදල් සොරකම් කරද්දී නිසි කලට ප්‍රතිපත්ති තීරණ නොගැනීම නිසා ගම්වැසියෝ ජලය සොරකම් කරති.

මෙය කුමන හාස්‍යයක් ද?

ප්‍රතිපත්ති තීරකයින් ඔබ ගත් ප්‍රතිපත්ති තීරණ පිළිබඳව නැවත නැවතත් සොයා බැලිය යුතු නොවේ ද?

ජලයත් සමග ජීවත් වූ අපේ මිනිසුන්ට මෙලෙස ජලය සොරකම් කිරීමට සිදුවූයේ ඇයි?

මඩ සෝදා ගත් කළ ගොවියා රජකමට සුදුසු යැයි කියමනක් ඇත.

අද මඩ සෝදා ගන්නටවත් ගොවියාට වතුර නැත.

[youtube url=”www.youtube.com/watch?v=5WiY394avFM&feature=youtu.be” width=”560″ height=”315″]