සහල්වල පාලන මිල ඉවත් කිරීමට ජීවන වියදම් කමිටුවෙන් තීරණයක්

සහල්වල පාලන මිල ඉවත් කිරීමට ජීවන වියදම් කමිටුවෙන් තීරණයක්

By Sakila Udayakumara

Aug 16, 2017 | 6:49 am

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමට ඊයේ රැස්වූ ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

ජීවන වියදම් කමිටුව ඊයේ රැස්වූයේ මුදල් අමාත්‍යංශයේදී ය.

එම කමිටුව තීරණය කර ඇත්තේ, අද දිනයේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සමග සහල් සඳහා වන පාලන මිල ඉවත් කිරීම පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීමට ය.

ඉදිරියේදී දේශීය වී අස්වැන්න ද වෙළෙඳපොළට පැමිණීම කෙරෙහි අවධානය යොමු කරමින් එම තීරණය ගෙන තිබේ.

පාලන මිල ඉවත් කිරීම සමග සහල් ආනයනකරුවන් ද සහල් මෙරටට ගෙන්වීම මගින් සහල් මිල පහත වැටෙනු ඇති බව ජීවන වියදම් කමිටුවේ අදහස යි.

මේ අතර සිනී ආනයනයේදී පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඉහළ දැමීමත් සමග වෙළෙඳපොළේ සීනි මිලෙහි වැඩි වීමක් වුවහොත් පාලන මිලක් පැනවීමට ජීවන වියදම් කමිටුව තීරණය කර තිබේ.

ආනයනික සීනි කිලෝග්‍රෑම් එකක් සඳහා වන විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 08කින් ඉහළ දැමී ය.

මුදල් අමාත්‍යංශය පවසන්නේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ සීනි මිල ගණන් පහළ යාම හමුවේ මෙම පියවර ගත් බව ය.

දේශීය ගොවීන් ආරක්ෂා කර ගැනීමේ පියවරක් ලෙස බදු ඉහළ දැමීම සිදු කළ ද මෙමගින් දේශීය වෙළෙඳපොළේ සීනි මිල ඉහළ යාමක් සිදු නොවන බව ද මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කළේ ය.

එම අමාත්‍යංශයට අනුව මේ වන විට ජාත්‍යන්තර වෙළෙඳපොළේ සීනි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 10කින් පමණ පහළ ගොස් තිබේ.

ජීවන වියදම් කමිටුව   පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය   පාලන මිල   සහල්