රටේ නීතිය උල්ලංඝනය කරමින් සිදු කිරීමට ගිය අක්‍රමිකතාව පිළිබඳව විමර්ශනයක් තවමත් සිදු නොකරන්නේ ඇයි?

රටේ නීතිය උල්ලංඝනය කරමින් සිදු කිරීමට ගිය අක්‍රමිකතාව පිළිබඳව විමර්ශනයක් තවමත් සිදු නොකරන්නේ ඇයි?

කර්තෘ Sakila Udayakumara

05 Aug, 2017 | 9:16 pm

ටෝටල් පේ නමැති සමාගමට ජාතික ගෙවීම් වේදිකාව ක්‍රියාත්මක කිරීමට ඩිජිටල් උපදේශන සැපයුම්කාරිත්වය ලබාදීම බැඳුම්කර වංචාවට නොදවෙනි දූෂිත ක්‍රියාවලියක් බව විද්වත් මතය යි.

වත්මන් මුදල් අමාත්‍යවරයා සහ රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් එය යම් දුරකට අවහිර වුව ද රටේ නීතිය කඩකරමින් සිදුකරන්නට ගිය අක්‍රමිකතාව ගැන තවමත් කිසිදු විමර්ශනයක් සිදුවන බවක් පෙනෙන්නට නොමැත.

ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම සඳහා ශ්‍රී ලංකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. පෞද්ගලික සමාගම් 3ක් තෝරාගෙන තිබිණි.

ඒ අතරින් එකක් වන ටෝටල් පේ සමාගම පවසන පරිදි ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමේ මෙහෙයුම් අයිතිය අයි.සී.ටී.ඒ. ආයතනය ඔවුන්ට ලබා දී තිබේ.

2016 මාර්තු 01 වන දා ලියාපදිංචි කර ඇති මේ සමාගම අධ්‍යක්ෂවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත ය.

ඒ, ඊෂ්වරන් ස්‍රබ්‍රමනියම්, දුර්ගා චෙල්වරාම්, ස්ටීව් එෆ්.රාමුස්, ඉෂාන් නිරෝෂන් ලෙවිස් පෙරේරා සහ රාධ ක්‍රිෂ්ණන් සෙන්දූරන් යන පුද්ගලයින් ය.

ජාතික ගෙවීම් වේදිකාව නිර්මාණය කිරීමට අයි.සී.ටී.ඒ. ආයතනය මේ සමාගම තෝරාගත්ත ද ක්ෂේත්‍රයේ ඔවුන්ට ඒ සම්බන්ධයෙන් ඇත්තේ සීමිත දැනුමකි.

මිලේනියම් අයිටී, ඩබ්ලිව් එස් ඕ ටූ, කප්රුක, නයින්ටි නයින් එක්ස් වැනි වසර ගණනාවක පළපුරුදු සමාගම් තිබියදී කිසිදු අත්දැකීමක් හෝ පළපුරුද්දක් නොමැති ටෝටල් පේ වැනි සමාගමකට ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීමට ඩිජිටල් උපදේශකත්වය ලබාදීම සැක කටයුතු තත්ත්වයකි.

මේ සම්බන්ධයෙන් අයි.සී.ටී.ඒ. ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අප විමසූ අවස්ථාවේ අධ්‍යක්ෂවරුන් 5 දෙනාගෙන් දෙදෙනෙක් පමණක් ප්‍රතිචාර දැක්වූහ.

අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික රඛිත රාජපක්ෂ මහතා පැවසුවේ, සභාපති හෝ ප්‍රධාන විධායකගෙන් මේ පිළිබඳව විමසන්නැයි කියා සිටියේ ය.

තමන් සතුව ද තොරතුරු නොමැති බැවින් සභාපති හෝ ප්‍රධාන විධායකගෙන් විමසන ලෙස අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික දුමින්ද්‍ර රත්නායක මහතා ද පැවසී ය.

එහෙත් ජාතික ගෙවීම් වේදිකාව සකස් කිරීම වැනි බරපතල තීරණයක් ගැනීමේදී අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් නොදැනුවත්ව සිදුකළ නොහැකි ය.

බැඳුම්කර ගනුදෙනු විමර්ශනය කරන ආකාරයේ විධිමත් විමර්ශනයක් මේ අක්‍රමිකතාව සම්බන්ධයෙන් ද ආරම්භ කළහොත් සියලු තොරතුරු අනාවරණය වනු ඇති.

මුදල් පනත හා ගෙවීම් පියවීම් පනත නොසලකා සිදුකරන්නට ගිය මේ අක්‍රමිකතාව පිළිබඳව දැනටමත් මහ බැංකුව විමර්ශනයක් අරඹා තිබිය හැකි ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]