විද්‍යා දැරිය ඝාතනයේ ස්විස් කුමාර් ගැන 42 වන සාක්ෂිකරු අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව

විද්‍යා දැරිය ඝාතනයේ ස්විස් කුමාර් ගැන 42 වන සාක්ෂිකරු අධිකරණය හමුවේ කළ හෙළිදරව්ව

කර්තෘ Sagarika Chathumali

20 Jul, 2017 | 8:51 pm

යාපනය පුංකුඩුතිව්හි විද්‍යා දැරියගේ ඝාතනය පිළිබඳ නඩු විභාගය ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරිපිට යාපනය මහාධිකරණයේදී අද ත් විභාග කෙරිණ.

 

සිද්ධියේ 42 වැනි සාක්ෂිකරු වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී පියාගම සිසිර තිසේරා මහතා අද සාක්ෂි දෙමින් පැවසුවේ නව වැනි සැකකරුවන ස්විස් කුමාර් හෙවත් සසිකුමාර් සිද්ධියෙන් පසු බේරී පලායාමේ සිදුවීම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ දුරකතනයෙන් තමා දැනගත් බවයි.

සැකකරු යාපනය පොලිස් ස්ථානයට රැගෙන ගොස් නිදහස් වූ බවත් තමා දැනගත් බව ඔහු ප්‍රකාශ කළේ ය.

ස්විස් කුමාර් යළි අත්අඩංගුවට පත්කර කයිට්ස් අධිකරණය හමුවට ඉදිරිපත් කරන විට ඔහුට දැඩි ආරක්ෂාව ලබාදී තිබූ බව අනාවරණය කළ සාක්ෂිකරු ජනතාව කම්පනයට පත්කරන ආකාරයෙන් දැරියගේ දේහය නිරුවත්ව තිබීම තුළින් මෙය පළිගැනීමේ අරමුණකින් සිදුකළ සිද්ධිය කැයි තමා දැනගත් බව ද කියා සිටියේ ය.

ස්විස් කුමාර්ව අද අධිකරණයේ දී සාක්ෂිකරු විසින් හඳුනාගනු ලැබී ය.

ඔහු කියා සිටියේ සැකකරුවන් සතුව තිබී පොලීසිය භාරයට ගත් ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක මොරටුව විශ්වවිද්‍යාලයට යවා පරීක්ෂා කළ බවයි.

මේ අතර ස්විස් කුමාර් මෘදුකාංග ඉංජිනේරුවරයෙකුට අල්ලස් ලබාදීමට උත්සාහ දැරූ බවත් අද හෙළිවිය.

පරීක්ෂණය සිදු කළ නිශාන්ත ද සිල්වා මහතාට රුපියල් මිලියන 20ක් ලබාදී තමා සහ තමාගේ සහෝදරයාව රජයේ සාක්ෂීකරු ලෙස පත්කරන ලෙස මෘදුකාංග ඉංජිනේරුවරයාට ස්විස් කුමාර් පවසා ඇති බව 42 වැනි සාක්ෂිකරුවන සහකාර පොලිස් අධිකාරීවරයා කියා සිටියේ ය.

ලබන 24 වන දා කයිට්ස් මහේස්ත්‍රාත් ඒ.එම්.එම්. රියාල් මහතාට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරිපිට පෙනී සිටින ලෙස නියෝග කෙරිණ.

අද සාක්ෂි විමසීමේ දෙවැනි වටය අවසන් වූ අතර නඩුව යළි 24 වන දා කැඳවීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]