ජාතික ගෙවීම් වේදිකාව හරහා සිදුවන්නට යන අක්‍රමිකතා ගැන තවත් තොරතුරු රැසක්…

ජාතික ගෙවීම් වේදිකාව හරහා සිදුවන්නට යන අක්‍රමිකතා ගැන තවත් තොරතුරු රැසක්…

By Sagarika Chathumali

Jul 16, 2017 | 9:54 pm

ජාතික ගෙවීම් වේදිකාව හරහා සිදුවන්නට යන අක්‍රමිකතාව පිළිබඳව අප පසුගිය දින කිහිපයේ ම අනාවරණ කළේ ය.

 

ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළි වෙමින් තිබේ.

ජාතික ගෙවීම් වේදිකාව යනුවෙන් හඳුන් වන්නේ කාසි හා නෝට්ටු නොමැතිව විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කිරීමට පහසුකම් සලසන පද්ධතියකි.

මෙහිදී සියලු ම රජයේ ආයතන, බැංකු, මූල්‍ය ආයතන සහ ජනතාව එකම ජාලයකට සම්බන්ධ කිරීම සිදවේ.

ඊට සම්බන්ධවීමෙන් ගෙවීම් , පියවීම් ඔන්ලයින් ක්‍රමයට වඩාත් පහසුවෙන් සිදුකළ හැකියි.

ශ්‍රී ලංකාවේ ජාතික ගෙවීම් වේදිකාවක් නිර්මාණය කිරීම සඳහා තමන් මූලික පියවර ගෙන තිබූ බව ශ්‍රී ලංකා මහබැංකුව අප කළ විමසීමකදී තහවුරු කළේ ය.

ඔටෝමේටඩ් සිස්ටම් ෆෝ කස්ටම් ඩේටා හෙවත් ඇසිකුඩා නමැති පද්ධතිය සියලු ම වාණිජ බැංකුවලට සම්බන්ධ කිරීම එහි මූලික පියවරයි.

මෙරට රේගු නිෂ්කාෂණ කටයුතු ස්වයංක්‍රීයව සිදුකිරීම දැනටමත් මෙම ඇසිකුඩා පද්ධතිය හරහා සිදුවේ.

එහෙත් මෙම පද්ධතියට සම්බන්ධවී ගෙවීම් කිරීමට පහසුකම් සලසා ඇත්තේ රාජ්‍ය බැංකු දෙකක් හරහා පමණි.

එය පුළුල් කරමින් සියලුම වානිජ බැංකු මෙම පද්ධතියට සම්බන්ධ කිරීම සදහා ශ්‍රී ලංකා මහබැංකුව සෘජුව සම්බන්ධවී ඔවුන්ගේ නියාමනයට යටත් ලංකා ක්ලියර් සමාගම හරහා ක්‍රමවේදයක් සකස්කර තිබේ.

2016 ඔක්තෝම්බර් 11 වනදා සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට ලිපියක් යවන මහබැංකුවේ ගෙවීම් සහ පියවීම් අංශයේ අධ්‍යක්ෂ දැනුම් දෙන්නේ ලංකා ක්ලියර් සමාගමේ මෙම පද්ධතිය සදහා මහබැංකුවේ මුදල් මණ්ඩලය අනුමැතියදී ඇති බවයි.

ඒ අනුව නොවැම්බර් මාසයේ සිට ලංකා පේ ඔන්ලයින් ගෙවීම් වේදිකාව හරහා රේගුවේ ඇසිකුඩා පද්ධතියට සම්බන්ධවී ගෙවීම් සිදුකිරීමට පහසුකම් සැලසෙන බව එම ලිපියේ සඳහන් ය.

ජාතික ගෙවීම් වේදිකාව නිර්මාණය කිරීම සඳහා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය සහිතව ලංකා ක්ලියර් සමාගම මූලික පියවර ගනිමින් සිටිය ද එම ක්‍රියාවළිය අඩාලවී තිබේ.

මහැ බැංකුවේ ගෙවීම් පියවීම් අධ්‍යක්ෂවරයා සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු වෙත ලිපිය යැවීමට දින කිහිපයකට පෙර එනම් 2016 ඔක්තෝම්බර් 3 වනදා එවක මුදල් අමාත්‍ය රවී කරුණනායක මහතා සියලුම බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ට වෙනත් උපදෙසක් යවා තිබේ.

කරුණනායක මහතා එම උපදෙස් සහිතව යැවූ ලිපියේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයිසීටීඒ ආයතනය සියලුම බැංකු හා රේගුවේ ඇසිකුඩා පද්ධතිය සම්බන්ධ කිරීමට ගෙවීම් වේදිකාවක් සකස් කර ඇති බවයි.

2016 නොවැම්බර් පළමු වනදා සිට එය ක්‍රියාත්මක වන බවත් ඊට ගැළපෙන අයුරින් මෘදුකාංග ඇතුළු යටිතල පහසුකම් සම්පාදනය කරගන්නා ලෙසත් ඔහු දන්වා තිබේ.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර උපදෙස් සදහා ICTA ආයතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා අමතන ලෙස ඔහුගේ දුරකතන අංක සමග රවී කරුණනායක මහතා සියලුම බැංකු ප්‍රධාන විධායකයින්ට දැනුම්දී තිබේ.

එවක මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා බැංකුවලට මෙසේ උපදෙස් දීමට පෙර 2016 ජුලි මාසයේ 8 වනදා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අයිසීටීඒ ආයතනය ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව සකස්කල යෝජනාව විවේචනයට ලක්කරමින් කරුණානායක මහතාට ලිපියක් යවා තිබිණ.

එම ලිපියේ මහබැංකු අධිපතිවරයා පෙන්වා දී තිබුණේ ICTA ආයතනය ගෙවීම් හා පියවීම් සම්බන්ධයෙන් මහබැංකුව සතු නියාමන බලය නොසලකා හැර ඇති බවයි.

ශ්‍රී ලංකා මහබැංකුව ක්‍රියාත්මක වන්නේ අග්‍රාමාත්‍යවරයා යටතේ ඇති ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ යි.

මෙරට ක්‍රියාත්මක සියලුම බලපත්‍රලාභී වානිජ බැංකු මහබැංකුවේ නියාමනයට යටත් ය.

එසේ තිබියදී ගෙවීම් පියවීම් පද්ධතියකට සම්බන්ධවීම සදහා බලපත්‍රලාභී වාණිජ බැංකුවලට මුදල් අමාත්‍යවරයා උපදෙස් දුන්නේ කෙසේ ද?

මහබැංකු අධිපතිවරයා බරපතළ ලෙස අනතුරු අගවමින් ප්‍රතික්ෂේපකල ICTA ආයතනයේ යෝජනාවලිය ක්‍රියාවට නැගීමට උත්සාහ කරන්නේ ඇයි ?

 

[youtube url=”https://www.youtube.com/watch?v=0IErpukFby8″ width=”560″ height=”315″]
මේ අතර අද මහනුවර පැවති උත්සවයක් අතරතුරදී මාධ්‍යවේදීහු ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතාගෙන් ප්‍රශ්න කළහ.
ප්‍රශ්ණය – සර් මං මේක අහන්නේ හිටපු මුදල් ඇමතිතුමා හැටියට සර් ජාතික ගෙවීම් හා පියවීම් පද්ධතිය කියන්නේ මොක්කද?

පිළිතුර – අනාගතයේ කෑශ් ඒ කියන්නේ සල්ලි නැති සමාජයකට තමයි යන්නේ.සල්ලි නෑ කියන්නේ අතේ සල්ලි නෑ කියන එක නෙවෙයි.සල්ලි තියෙනවා හැබැයි ඒවා කාඩ් වලින් තමයි පාවිච්චි කරන්නේ.කාඩ් වගේ කාඩ් ඉතින් ඒකට අවශ්‍ය පාලනය සහ අධික්ශණයට මණ්ඩලයක් හදන්න තමයි බලන්නේ.

ප්‍රශ්නය – ඒක දැන් පුද්ගලික අංශයකට දුන්නොත්

පිළිතුර – නෑ නෑ.. ඒ ගොල්ලන්ට නියාමනයක් කරන්න හම්බුවෙන්නේ නෑ… ඒගොල්ලන් කරන්නේ තාක්ෂනික දැනුම දෙන එක. ඒක නියාමනය කරන්න මුදල් අමාත්‍යංශය තියෙනවා නැත්තම් වෙනම ආයතනයක් හදනවා…

ප්‍රශ්නය – දැන් සර් මහබැංකු අධිපතිවරයා ලිපියක් ලියලා තියෙනවා මුදල් අමාත්‍යංශයට එහෙම එකක් දෙන්න..

පිළිතුර – ඔව් ඒක කවුද කරන්නේ කියලා අවසාන තීරනයක් අරගෙන නෑ. මොකද මහ බැංකුවත් කියනවා ඒ ගොල්ලනටත් අයිතියක් තියෙනවා මේ මුදල් හුවමාරුව පිළිබදව යම් වගකීමක් ගන්න.ඒ නිසා අවසාන තීරණයක් නෑ පාර්ලිමේනතුවට ආවමනේ ඒක අවසාන තීරණය ගන්නේ.නමුත් කවුරු අධික්ශණය කරත් කෑශ්ලස් සොසයිටි කියන එක ප්ලාස්ටික් කාඩ් එක පාවිච්චි කරන එක සමාජයට යනවා.ඒකට අපි ලෑස්තිවෙන්න ඕනේ.දැනට කාටවත් මේක දීලා නෑ.පාර්ලිමේන්තු පනතකින්නේ මේක එන්න ඕනේ.එතකම් මුකුත් කරන්න බෑ. –

ප්‍රශ්නය – දැන් මහබැංකු අධිපති තුමා කියලා තියෙන්නේ හරි කියන එකද සර්…

පිළිතුර – මහබැංකු අධිපතිතුමා කියන දේ වෙන්න පුලුවන් වෙන ආයතන කියන්න පුලුවන් ඒවා අරගෙන කැබිනට් පත්‍රිකාවක් හරහා ඒක පාර්ලිමේනතු පනතක් හරහා එනවා.එතකොට මේ අදහස් ගනන්ගන්න පුලුවන්…. –