මහබැංකු බැඳුම්කර මගඩියේ විමර්ශනවලදී අනාවරණ රැසක්…

මහබැංකු බැඳුම්කර මගඩියේ විමර්ශනවලදී අනාවරණ රැසක්…

By Sagarika Chathumali

Jul 16, 2017 | 9:45 pm

වසර දෙකක් පුරා සිදු කෙරුණු මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවේ විමර්ශන කටයුතුවලදී වැදගත් කරුණු රැසක් අනාවරණ වී අවසන් ය.

 

මේ වනවිට අදාළ වංචාවට සම්බන්ධ පුද්ගලයින් කවුරුන් ද යන වග හෙළිදරව් වෙමින් පවතී.

2015 පෙබරවාරි 27 වනදා මහබැංකුව තීරණය කරනු ලැබු‍වේ රුපියල් බිලියනයක් ලබාගැනීම සඳහා බැඳුම්කර වෙන්දේසියට යාමටයි.

එහිදී රුපියල් බිලියන 20කට අධික ලංසු මෙම වෙන්දේසිය හරහා ලැබුනත් හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ උපදෙස් පරිදි රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 10ක් වෙන්දේසියෙන් ලබාගෙන තිබේ.

2015 මාර්තු 16 වන දා News1st වෙත අදහස් දක්වමින් හිටපු මහබැංකු අධිපතිවරයා සන්නිවේදන දුර්වලතාවක් පිළිබඳ අදහස් පළ කළ අතර මෙම අදහස් පළ කිරීමට පසු දින අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී ද අදහස් පළ කළේ ය.

කෙසේ වෙතත් මෙම ගනුදෙනුව හරහාද අක්‍රමිකතා සිදුව ඇති බවට සිවිල් ක්‍රියාකාරීහු චෝදනා නගති.

මෙම ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසියේදී අධික ලංසු ඉදිරිපත් කිරිම හේතුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් නම් ප්‍රාථමික ගැනුම්කරුවෙකු මෙම සිද්ධියට අදාළව විමර්ශණයට ලක්වී තිබේ.

අර්ජුන් ‍ඇලෝෂියස් මහතා පර්පෙචුවල් සමාගමේ මව් සමාගමට සම්බන්ධ වන අතර කසුන් පාලිසේන මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරයි.

අර්ජුන් ඇලෝෂියස් යනු හිටපු මහබැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ බෑණා වන අතර ප්‍රශ්ණගත බැඳුම්කර සිද්ධිය සිදුවී ඇත්තේ මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලයේදී ය.

මෙම අදාළ වෙන්දේසිය සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම රුපියල් බිලියන 15 ක ලංසු ඉදිරිපත් කල අතර ඉන් බිලියන 13ක් ඉදිරිපත් කර ඇත්තේ තවත් ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන ලංකා බැංකුව හරහායි.

මේ හරහා සමාජය තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇත්වූ අතර විගණකාධිපතිවරයා සිදුවූයේයැයි කියන පාඩුව ගණන් බලා තිබේ.

විගණකාධිපතිවරයාගේ අනාවරණය සිදුවූයේ බැඳුම්කර සිද්ධිය විමර්ශණය කරන ජනාධිපති කොමිෂන් සභාවේදී ය.

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමා‍ගම ගනුදෙනු සිදුකළ ආකාරය සම්බන්ධයෙන් ප්‍රශ්ණගත තත්ත්වයක් උද්ගතවී තිබිණ.

නීතිපති දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ ගනුදෙනුවල සැබෑ ප්‍රතිලාභින් වසන් කිරීමේ රටාවක් නිර්මාණය වී ඇති බවයි.

මෙම රටාව හරහා සේවක අර්ථසාධක අරමුදලට පාඩු සිදුවන බව නීතිපති දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව හඳුනාගත් මෙම රටාව තුළ අතරමැදියෙකු ලෙස කටයුතු කර තිබෙන්නේ පෑන් ඒෂියා බෑංකිං කෝපරේෂන් සමාගමයි.

නීතිපති දෙපාර්තමේන්තු පෙන්වා දුන්නේ අතරමැදියෙකු ලෙස කටයුතු කිරීමෙන් පෑන් ඒෂියා බෑංකිං කෝපරේෂන් සමාගම සුළු ලාබයක් උපයා ඇති බවයි.

මේ අතර මෙම ක්‍රියාවලිය සඳහා පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගම මුදල් තැරැව්කරුවන් ඇතැම් අවස්ථාවලදී භාවිත කළ බවට ද තොරතුරු අනාවරණය වී තිබේ.

තවත් විශ්මය ජනක අනාවරණයක් වී ඇත්තේ පෑන් ඒෂියා බෑංකිං කෝපර්රේෂන් සමාගමේ හිටපු සභාපති නිමල් පෙරේරා මහතා ඔහුගේ පෞද්ගලික සුරැකුම්පත් සහ ඔහුට අයත් එන්.පී. කැපිටල් සමා‍ගමේ සුරැකුම්පත් තම බැංකුව හරහා සේවක අර්ථසාධක අරමුදල් සමඟ ගනුදෙනු කරන බවයි.

මෙම අතරමැදි ක්‍රියාවලිය හරහා ප්‍රතිලාබ ලැබූ අනෙක් පාර්ෂව ගැන සොයා බැලීමට ජනාධිපති විමර්ශණ කොමිෂන් සභාවේ අවධානය යොමුවී තිබේ.

මෙම සියලුම ගනුදෙනුවලදී සේවක අර්ථ සාධක අරමුදලේ ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කළ නිලධාරියා එහි දැනට සේවය අත්හිටවූ ජේෂ්‍ය්ඨ අතිරේක අධ්‍යක්ෂ සමන් කුමාර බවට හඳුනාගෙන තිබේ.

සමන් කුමාර මහතා අධික වත්කම් උපයාගත් ආකාරය ප්‍රශ්නගත බැවින් ඔහුගේ ස්ථාවරය කෙරෙහි ජනාධිපති කොමිසම දැඩි අවධානයෙන් පසුවේ.

සමන්කුමාර මහතා හෙට දිනයේදී බැඳුම්කර සිද්ධිය විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ නැවතත් සාක්ෂි ලබාදීමට නියමිතයි.

සමන් කුමාර මහතා ලබාදෙන සාක්ෂිය යොමුවන්නේ කුමන දිශාවට ද ?

ඔහුගේ සාක්ෂියෙන් මෙම වංචාවට සම්බන්ධ ඉහලම තනතුරු පිළිබඳ හෙළිදරව්වක් සිදුවේද?

[youtube url=”https://www.youtube.com/watch?v=9e2lkC7xBEQ” width=”560″ height=”315″]