මහ බැංකු අධිපතිගේ නිර්දේශ නොතකා ජාතික ගෙවීම් වේදිකාව පෞද්ගලික සමාගම් අතට පත් කිරීමට යන්නේ කාගේ වුවමනාවකට ද?

මහ බැංකු අධිපතිගේ නිර්දේශ නොතකා ජාතික ගෙවීම් වේදිකාව පෞද්ගලික සමාගම් අතට පත් කිරීමට යන්නේ කාගේ වුවමනාවකට ද?

By Sakila Udayakumara

Jul 15, 2017 | 8:52 pm

ජාතික ගෙවීම් වේදිකාව හරහා සූක්ෂම අයුරින් මහජන මුදල් කොල්ල කෑමේ සූදානමක් පිළිබඳව අපි පසුගිය දින කිහිපයේ ම කරුණු අනාවරණය කළෙමු.

මහ බැංකුව සතු මහජන මුදල් පිළිබඳ නියාමන බලය නොසලකා හරිමින් රටේ නීතිය ද කඩ කර මේ ක්‍රියාවලිය සිදුකිරීමට දරණ උත්සහයේ තවත් තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

ජාතික ගෙවීම් වේදිකාව යනුවෙන් හඳුන්වන්නේ කාසි හා නෝට්ටු නොමැතිව විද්‍යුත් ක්‍රමයට ගනුදෙනු කිරීමට පහසුකම් සලසන පද්ධතියකි.

මෙහිදී සියලු ම රජයේ ආයතන, බැංකු, මූල්‍ය ආයතන සහ ජනතාව එකම ජාලයකට සම්බන්ධ කිරීම සිදුවේ.

ඊට සම්බන්ධ වීමෙන් ගෙවීම්, පියවීම් ඔන්ලයින් ක්‍රමයට වඩාත් පහසුවෙන් සිදුකළ හැකි ය.

ගෙවීම්, පියවීම් සම්බන්ධයෙන් නියාමන බලය ඇති එකම ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුව යි.

1949 අංක 58 දරණ මුදල් පනත හා 2005 අංක 28 දරණ ගෙවීම් හා පියවීම් පද්ධති පනතේ මේ බලය ඉතා පැහැදිලිව සඳහන් කර තිබේ.

එසේ තිබියදී ශ්‍රී ලංකා මහ බැංකුවෙන් පිටත තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. ආයතනය මැදිහත් වී තෝරාගත් පෞද්ගලික සමාගම් 3ක් හරහා මෙම පද්ධතිය සකස් කිරීමට දරණ උත්සහය අපි පසුගිය දින කිහිපයේ ම පෙන්වා දුන්නෙමු.

ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වී ඔවුන්ගේ නියාමනය යටතේ ක්‍රියාත්මක වන ලංකා ක්ලියර් ආයතනය මගින් ගෙවීම් වේදිකාවක් නිර්මාණය කරමින් තිබියදී අයි.සී.ටී.ඒ. ආයතනය ඊට මැදිත්ව ඇති අයුරු මේ සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනයේදී පැහැදිලි වේ.

මහ බැංකුව අප කළ කරුණු විමසීමකට ඊමේල් පණිවුඩයකින් දක්වා ඇති ප්‍රතිචාරයේ සඳහන් වන්නේ, ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව අයි.සී.ටී.ඒ. ආයතනය 2016 මැයි මාසයේ සහ ජුනි මාසයේ යෝජනා 2ක් යොමු කර තිබූ බව ය.

එම යෝජනා පිළිබඳව මහ බැංකුවේ අදහස යොමු කිරීමෙන් පසුව අයි.සී.ටී.ඒ. ආයතනයේ ප්‍රධාන විධායක මුහුන්දන් කනගේ මහතා මැදිහත් වී පෞද්ගලික ආයතනයක් ද සම්බන්ධ කරගෙන වාර්තාවක් සකස් කර තිබේ.

මෙම වාර්තාව පිළිබඳව කරුණු දක්වමින් 2016 ජුලි 8 වන දා එවක මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ලිපියක් යවා තිබේ.

එම ලිපියේ සඳහන්ව ඇත්තේ, අයි.සී.ටී.ඒ. ආයතනය මහ බැංකුව සමග කිසිදු අවස්ථාවක සාකච්ඡා නොකර 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකින් මේ වාර්තාව සකස් කර ඇති බව ය.

ජාතික ගෙවීම් පද්ධතිය සම්බන්ධයෙන් පරිපාලන හෝ නියාමනය කිරීමේ කිසිදු කාර්යයක් මහ බැංකුවට නොමැති බවත් අඩුම තරමේ පාර්ශවකරුවෙකු හෝ නොවන බව ත් මෙම වාර්තාවේ සඳහන්ව ඇතැයි මහ බැංකුවේ අධිපතිවරයා සිය ලිපියේ පෙන්වා දී තිබේ

ඔහු මුදල් අමාත්‍යවරයාට දන්වන්නේ, වාර්තාවට කමිටු සාමාජිකයින් අත්සන් කර තිබුණ ද ඔවුන් ඊට අදාළ වන පසුබිම පැහැදිලි කර නොමැති බව ය.

ගෙවීම් පද්ධති සියල්ලකම ආරක්ෂාව හා විශ්වසනීයත්වය පිළිබඳව නියාමනය මහ බැංකුවට පැවරෙන කාර්යයක් බව ත් ඒ අනුව මූල්‍ය ආයතනයක් ජාතික ගෙවීම් පද්ධතියක් තුළට ඇතුල්වීම පිළිබඳව තමන් නියාමනය කරන බව ත් එම ලිපියේ සඳහන් වී තිබේ.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දෙන්නේ, තොරතුරුවල ආරක්ෂාව සහතික කිරීම සහ පාරිභෝගික සුරක්ෂිත භාවය වෙනුවෙන් මෙම පියවර ගන්නා බව ය.

මීට අමතරව අයි.සී.ටී.ඒ. ආයතනය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව මෙම පද්ධතියේ දත්ත ගබඩා කිරීම සිදුවන්නේ ඉන්ටර්නෙට් තුළ ය.

ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන මහ බැංකු අධිපතිවරයා මෙසේ ගබඩා කරන දත්ත සුරක්ෂිත කිරීම සඳහා රට තුළ අණ පනත් සම්මත වී නැතැයි පෙන්වා දෙයි.

ඔහු සිය ලිපියේ සඳහන් කරන්නේ, මෙවැනි දත්ත ගබඩා කරන සේවාවක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට රටේ නීතියක් නොමැති බව ය.

මේ අනුව අයි.සී.ටී.ඒ. ආයතනය යෝජනා කරන ජාතික ගෙවීම් පද්ධතිය ද මහ බැංකුව යටතේ පවතින ව්‍යුහයක් විය යුතු බව ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා එවක මුදල් ඇමතිවරයාට ඉතා පැහැදිලිව දන්වා තිබේ.

එහෙත් ටෝටල් පේ නමැති සමාගමක් ජාතික ගෙවීම් වේදිකාව පිළිබඳව ඔවුන්ගේ සැලසුම් පැහැදිලි කරමින් සකස් කළ ලියවිල්ලේ දක්වා ඇත්තේ, මෙම ක්‍රියාවලියේදී ඩිජිටල් උපදේශකත්වය සම්බන්ධ මෙහෙයුම් අයිතිය අයි.සී.ටී.ඒ. ආයතනය විසින් තම සමාගමට ලබා දී ඇති බව ය.

මෙම අවසරය අනුව බැංකු 2ක් අතර තම නියෝගවලට අනුව ගනුදෙනු කිරීමට හැකියාව ඇතැයි ද ටෝටල් පේ සමාගම සඳහන් කර තිබේ.

2016 වසරේ මාර්තු පළමු වන දා ලියාපදිංචි කර ඇති මෙම සමාගමේ සිටින කොටස්කරුවන් හා අධ්‍යක්ෂවරුන් ගණන 5කි.

එහි වැඩිම කොටස් ගණනක් හිමි අධ්‍යක්ෂවරයා වන්නේ, ඊෂ්වරන් සුබ්‍රමනියම් නමැත්තෙකි.

ඊට අමතරව දුර්කා චෙල්ලරාම්, ස්ටීව් එප්රාම්ස්, ඉෂාන් නිරෝෂන් ලෙවිස් පෙරේරා සහ රාධ ක්‍රිෂ්ණන් සෙන්දුරන් එහි සෙසු කොටස්කරුවන් හා අධ්‍යක්ෂවරුන් ය.

[youtube url=”www.youtube.com/watch?v=2lLFpjS9yGU” width=”560″ height=”315″]