ලොකු ළූණූ තරමටම ලොකු නොවුණු මිල නිසා මාතලේ ගොවීන්ගේ බිඳවැටුණු බලාපොරොත්තු

ලොකු ළූණූ තරමටම ලොකු නොවුණු මිල නිසා මාතලේ ගොවීන්ගේ බිඳවැටුණු බලාපොරොත්තු

By Sagarika Chathumali

Jul 10, 2017 | 11:09 am

ලොකු ළූණූ තරමටම ලොකු නොවුණු මිල ගණන් නිසා මාතලේ ගොවීන්ගේ අනාගත බලාපොරොත්තු බිඳ වැටී තිබේ.

 

මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල, සීගිරිය, ගලේවෙල, දේවහූව, සහ නාඋල වැනි ගොවිජන බල ප්‍රදේශ දේශීය ලොකු ළූණු වගාව සඳහා වඩාත් ප්‍රචලිතයි.

සාමාන්‍යයෙන් වසරකට මෙම ප්‍රදේශවල අක්කර 2800 – 3000ත් අතර ප්‍රමාණයකට ලොකු ළූණූ වගා කෙරෙයි.

මාතලේ දිස්ත්‍රික් නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා කුසුම් සෙනෙවිරත්න මහත්මිය පවසන්නේ ගොවීන් මෙවර යල කන්නයේ ලොකු ළූණූ වගා කර ඇත්තේ අක්කර 900 ත් 1000 ත් අතර ප්‍රමාණයක පමණක් බවයි.

ශ්‍රී ලංකාවේ ලොකු ළූණූ පරිභෝජන අවශ්‍යතාවයෙන් 80% ක් පමණ සපුරා දෙන මාතලේ ලොකු ළූණු ගොවීන් මෙලෙස ළූණූ වගාවෙන් ඈත් වීම සැලකිල්ලට ගත යුතු තත්ත්වයකි.

ශ්‍රමයට නිසි වටිනාකමක් ලැබෙන වෙළෙඳපොළක් නිර්මාණය නොවීම, අධික පිරිවැය වැනි ගැටලු නිසා තමන් වගාවෙන් ඈත්වෙමින් සිටින බව ලොකු ළූණූ ගොවීහු පවසති.

[quote]මේ සැරේ බොහොම අඩුවෙන් තමයි ගොවිතැන කරන්නේ. ඒකට හේතුව අපිට වියදම් කරලා බැංකු ණය අරගෙන මේවා කරලා වෙළඳපොලට ගියාට පස්සේ බැංකු ණයවත් ගෙවා ගන්න බැරිවෙනවා. පොහොර මිල, බෙහෙත් මිල හැම දෙයක්ම මේ සැරේ බලන්න. මොනවත් නැහැ. අපිට අතින් වල් ගලවන්න ඕනී. වෙළඳපොළට අරන් ගියාට පස්සේ එතනත් මිලක් නෑ රුපියල් පනහට හැටට ළූණූ දිලා ගොඩ යන්න බෑනේ[/quote]
[quote]පොහොර මිල වැඩියි. රුපියල් තුන්දාහයි හාරදාහයි.කම්කරු කුළිය වැඩියි. එහෙම කරලා අන්තිමේට අස්වනු නෙළලා මාකර්ට් එකට අරන් ගියාට පස්සේ දෙන්න බෑ. දෙන්න උද්ඝෝෂණය කරන්න ඕනි[/quote]

ළූණුවල සැරට ඇස්වලට කඳුලු එන පාරිභෝගික ජනතාව අතරේ මාතලේ ලොකු ළූණූ ගොවීන්ට සිදුව ඇත්තේ කඳුළු පිරි නෙතින් වගාව දෙස බලා සුසුම් හෙළීමටයි.

ගැටලුවට නිසි විසඳුමක් නොලැබුණ හොත්, ලොකු ළූණූ වගාවේ අනාගතය ද ගැටලුවක් වනු ඇතැයි මේ ගොවීහු පෙන්වා දෙති.