දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ ලොකු ම බොරුව ගැන තවත් හෙළිදරව්වක්

දකුණු ආසියාවේ උස ම බිල්ඩිමේ ලොකු ම බොරුව ගැන තවත් හෙළිදරව්වක්

By Sagarika Chathumali

Jul 05, 2017 | 9:01 pm

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය දකුණු ආසියාවේ උස ම ගොඩනැගිල්ල කොළඹ ඉදිකිරීම සඳහා විදේශිය ආයෝජකයෙකු සමග ඩොලර් බිලියන දෙකක් වටිනා ගිවිසුම් අත්සන් කළ බව අප ඊයේ හෙළිදරව් කළේ ය.

[youtube url=”https://www.youtube.com/watch?v=O-LVv9UCGlU” width=”560″ height=”315″]

අප සිදු කළ එම අනාවරණයට ආයෝජන මණ්ඩලය ප්‍රතිචාර අද දැක්වීය.
අප ඊයේ කළ අනාවරණය අනුව මෙම ආයෝජනයට සම්බන්ධ සමාගමේ ප්‍රධානීහු වැඩි දෙනා ලාංකිකයෝ වෙති.

ගොඩනැගිල්ලට නිශ්චිත ඉඩමක් නොමැති අතරම ආයෝජන මුදල සම්බන්ධයෙන් ද විවිධ අදහස් පළ විය.
මෙම ආයෝජන ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව ඩේලි මිරර් පුවත් පත වාර්තා කළේ, එය ඩොලර් බිලියන දෙකක ආයෝජනයක් බවයි.

නමුත් මේ පිළිබඳව එම සමාගම වෙනුවෙන් කරුණු පැහැදිලි කළ ආචාර්ය සේනක සිල්වා‍ මහතා ඊයේ නිවුස් ෆස්ට් සමග එක්වෙමින් ප්‍රකාශ කළේ, ව්‍යාපෘතියේ වටිනාකම ඩොලර් බිලියන 1.2ක් බවයි.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා අපට පෙන්වු ආයෝජන ගිවිසුමේ වටිනාකම් දැක්වුනේ ඩොලර් බිලියන 2.4ක් ලෙසයි.
මුලු ආයෝජනය බිලියන ගණනක් ලෙස කියවුණ ද සැබැවින් ම ඩොලර් වලින්ම විදෙස් ආයෝජනයක් ලෙස ලැබීමට ගිවිසුම් ගත කර ඇත්තේ ඩොලර් මිලියන 200ක් පමණයි.
නමුත් සෙසු මුදල් ප්‍රමාණය ද ඩොලර් වලින්ම සෘජු විදෙස් ආයෝජනයක් ලෙසින් ම ගෙන්වා ගැනීමට තමන් කටයුතු කරන බවත් ගිවිසුම් සකස් කරන බවත් සභාපතිවරයා අපට සනාථ කළේ ය.

මේ අතර මෙම ආයෝජන ව්‍යාපෘතිය පිළිබදව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ජාවේදි ප්‍රශ්න කෙරිණ.