වනිදු හසරංග මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

වනිදු හසරංග මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබා ගනී

By Chathuranga Rajapaksha

Jul 02, 2017 | 1:49 pm

තරග පහකින් සමන්විත ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර දෙවන එක්දින තරගය මේ වනවිට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

තරගයේ කාසිය වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම දිනාගත් අතර ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිදු හසරංග අද එක්දින වරම් හිමි කර ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව සිම්බාබ්වේ කණ්ඩායමට හිමිවූ අතර සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසියේ හැමිල්ටන් මසකට්සා සමගින් සොලමන් මයර් .

සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුල්ලේ සබදතාව ලකුණු 11 කට සීමා කරමින් සොලමන් මයර් ලකුණු නොලබාම දැවී ගියේය.

ආරම්භක පිතිකරු හැමිල්ටන් මසකට්සා ලකුණු 40 ක් රැස් කළ අතර ඊට හතරේ පහර 8 ක් ඇතුළත් ය.

මේ අතර පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග සිය මංගල එක්දින තරගයේදීම කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ලොව තුන්වන ක්‍රීඩකයා බවට පත්විය.

මීට පෙර එම දක්ෂතාවය ප්‍රදර්ශනය කර ඇත්තේ බංගලාදේශයේ තයිජු ඉස්ලාම් හා දකුණු අප්‍රිකාවේ කගිසෝ රබාඩා යන ක්‍රීඩකයින්

19 හැවිරිදි හසරංගගේ එම දක්ෂතාවයත් සමග සිම්බාබ්වේ කණ්ඩායමේ ඉනිම පන්දුවාර 33 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 155 සීමා විය.