අප අමතක කර දැමූ විශේෂිත ආර්ථික කලාපය (EEZ) – පියවි විජේවර්ධනගෙන් ලිපියක්

අප අමතක කර දැමූ විශේෂිත ආර්ථික කලාපය (EEZ) – පියවි විජේවර්ධනගෙන් ලිපියක්

අප අමතක කර දැමූ විශේෂිත ආර්ථික කලාපය (EEZ) – පියවි විජේවර්ධනගෙන් ලිපියක්

කර්තෘ Sagarika Chathumali

06 Jul, 2017 | 6:35 pm

මෙම වාර්තාව ශ්‍රී ලාංකීය අප, ආර්ථීක සංවර්ධනයේදී අමතක කර දැමූ එම විශේෂිත ආර්ථික කලාපය ආර්ථීක සංවර්ධනයට දායක කරගත හැක්කේ කෙසේ ද යන්න පිළිබඳව අවධානය යොමු කරවීම උදෙසායි.

ශ්‍රී ලංකාව වැනි බොහෝ දූපත් රාජ්‍යයන් තමන් සතුව අනන්‍ය ආර්ථික කලාපයක් ඇති බව අමතක කර සිටී. විශේෂිත ආර්ථික කලාපය (Exclusive Economic Zone) යනු රටට අයිති සාගර කලාපය වන අතර ගොඩබිම් සීමාවේ සිට නාවික සැතපුම් 200ක් දුර යනතුරු මෙම සාගර තීරය පිහිටා තිබේ. එහෙත් මින් අප නිසි ප්‍රයෝජන ලබා ගන්නේද?

UNCLOS (United Nations Convention on the Law of the Sea) ඒ ඒ රටවලට මුහුදු සීමාවන් බෙදා වෙන් කර දී නීති හා රෙගුලාසි පැනවීම සිදුකර ඇති එක්සත් ජාතීන්ගේ ගිවිසුමයි. එකී ගිවිසුමට අනුව සිය සාමුද්‍රික කලාපය රටේ ආර්ථිකයට දායක කර ගැනීමට ලොව ඕනෑ ම රටකට අවසර හිමි වේ. එමෙන් ම වෙනත් රටවලට සිය මුහුදු සීමාවට ඇතුළ වී සාමුද්‍රික සම්පත් සූරාකෑමට එරෙහි වීමට ද ඕනෑ ම රටකට හැකියාව ඇත. ඒ අනුව රටක ආර්ථීක සංවර්ධනයේදී භූමියේ සිව් කොනට කොටු වී නොසිට සිය මුහුදු සීමාවේ සාමුද්‍රීය සම්පත් ප්‍රයෝජනයට ගැනීමට නීතිමය සීමා මායිම් නැති බව පැහැදිලි ය.

රට වටා සමුද්‍ර කලාපය රටේ සංවර්ධනය සඳහා දායක කර ගැනීම සඳහා රජය විධිවිධාන සැලසිය යුතු අතර ඒ සඳහා වන ආයෝජන වඩාත් පුළුල් කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. ගැඹුරු මුහුදේ නාවික කටයුතු පුළුල් කළ හැකි අතිදක්ෂ නාවික හමුදාවක් අප සතු ය. මේ වන විට තායිලන්තය, මැලේසියාව වැනි රටවල නාවික හමුදාව එම රටවල් සාමුද්‍රික ආයෝජන, සමුද්‍රීය ගවේෂණ, ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වෙමින් විශේෂිත ආර්ථික කලාපයන්හි (EEZ) ප්‍රතිලාභ අත්කර ගනිමින් සිටී.

එසේම දේශීය විශ්වවිද්‍යාල තුළ සාමුද්‍රික මෙහෙයුම් හා සම්බන්ධ විෂය මාලා හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවකි.
මීට අමතරව ශ්‍රී ලංකාව සිය විශේෂිත ආර්ථික කලාපයේ සැඟව ඇති සාගර සම්පත් හඳුනා ගැනීම සඳහා විදේශීය විශ්වවිද්‍යාල සහ පර්යේෂණ කණ්ඩායම් සමග එක්ව විද්‍යාත්මක ගවේෂණවල නිරත විය යුතු ය. ඉන් නිර්මාණය වන ශ්‍රම බලකාය හරහා විශේෂ ආර්ථික කලාපයේ නිසි ඵල අත්කර ගත හැකි ය.

ලොව අනෙකුත් රටවලට සාපේක්ෂව මෙරට සාමුද්‍රික කලාපය තුළින් ඉහළ ජෛව විවිධත්වයක් වාර්තා වී ඇති අතර ඝන කොරල් පර සහ දහසකට ආසන්න මත්ස්‍යය විශේෂයන් සහ පොකිරිස්සන්, කූනිස්සන්, කකුළුවන්, බූවල්ලන් වැනි අනෙකුත් මුහුදු ජීවීන් මෙන් ම නිල් තල්මසුන්ගේ පාරාදීසයක් බඳු දකුණු මුහුද අපට හිමි අමිල සම්පතකි. මේ වනවිට ශ්‍රී ලංකාව තුළ ජාතික සාමුද්‍රික උද්‍යාන සහ සාමුද්‍රික රක්ෂිතයන් හඳුනාගෙන තිබේ.

ධීවර කර්මාන්තයේදී ලොව ප්‍රධානතම මත්ස්‍ය අපනයනකරුවන් අතරට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇති අතර මත්ස්‍ය අපනයනය මෙන් ම ටින් මාළු කර්මාන්තයේ නිරත වන්නන්ට රාජ්‍ය අනුග්‍රහය ලබා දිය යුතුයි.

මත්ස්‍ය සම්පතට අමතරව මිල කළ හැකි අතිවිශාල සාමුද්‍රික සම්පත් අප සතු ය. මහ මුහුදේ ඇති මුහුදු පැළෑටි, ජානමය සම්පත් සහ කාබනික සංයෝග කෘෂිකර්මාන්තය, අහාර නිෂ්පාදනය සහ කාර්මික නිෂ්පාදනයේදී අවශ්‍ය අමුද්‍රව්‍ය සඳහා සපයා ගත හැකිය. එහෙත් ගැටලුව වී ඇත්තේ, මෙකී අවස්ථා හඳුනා නොගැනීමත් එය ආර්ථිකට සම්බන්ධ කර ගැනීමට නිසි ක්‍රමවේදයක් නොමැති වීමයි.

ගෙවත්ත වල් වැදෙන්නට දී ගේ තුළ සෞභාග්‍යයක් හෝ සංවර්ධනයක් කිසි දිනෙක අපේක්ෂා කළ නොහැකි සේ ම, රට වටා ඇති මහ සයුර අමතක කර දමා රටක සංවර්ධනයක් කිසි දින අත්කර ගත නොහැකි බව අපි සියලු දෙනා වටහා ගත යුත්තකි.

පියවි විජේවර්ධන (පර්යේෂක – ගෝලීය ව්‍යාපාර සංවර්ධන අධ්‍යනායතනය)