රටකජු විකුණා බ්‍රසීල ජනපති වී දඟගෙට නියම වූ ජනපති ලූලාගේ කතාව..

රටකජු විකුණා බ්‍රසීල ජනපති වී දඟගෙට නියම වූ ජනපති ලූලාගේ කතාව..

By Sagarika Chathumali

13 Jul, 2017 | 4:03 pm

බ්‍රසීලයේ හිටපු ජනපති ලුයිස් ඉනාෂියෝ ලුලා ද සිල්වා අල්ලස් චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් වසර නවය හමාරක සිර දඬුවමක් නියම වී තිබේ.

 

කෙසේ වෙතත් අධිකරණ තීන්දුවට අනුව අභියාචනයක් ඉදිරිපත් කරන තෙක් ඔහුට සිරදඬුවමෙන් නිදහස්ව සිටිය හැකියි.

බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගමකින් අල්ලස් මුදල් ලබා ගත් බවට ඔහුට චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර ඇත.

මුදල් විශුද්ධිකරණ සිද්ධියක් මුල්කර ගනිමින් කාර් වොෂ් මෙහෙයුම ආරම්භ වූයේ, මීට වසර තුනකට පෙර දේශපාලන දූෂණයට එරෙහිව මහජන කෝපය උත්සන්න වීම හේතුවෙනි.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, මෙය දේශපාලන පෙළඹවීමක් මත සිදුවූවක් බවයි.

මෙම තත්ත්වය නිර්මාණය වූයේ, බ්‍රසීලයේ හිටපු ජනපති ලූලා ද සිල්වා වාමාංශික කම්කරු පක්ෂයෙන් ඉදිරි මැතිවරණයට යළි ඉදිරිපත් වීමට ඉඟි පළ කර ඇති පසුබිමක් තුළ වීම ද විශේෂත්වයකි.

කෙසේ වෙතත් රජයේ තෙල් සමාගමක් සමග ගිවිසුම්ගත වීමේ අරමුණින් එරට ඉංජිනේරු සමාගමකින් අල්ලස් ගත් බවට නැගුණු චෝදනාවට හිටපු ජනපතිවරයා වරදකරු බව එරට අධිකරණය ඊයේ තීන්දු කළේ ය.

ඊට අමතරව මුදල් විශුද්ධිකරණය, බලපෑම් කිරීම, අධිකරණ කටයුතුවලට බාධා කිරීම යන චෝදනා ද හිටපු ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වී ඇති අනෙක් චෝදනාවන් ය.

වානේ කම්කරුවෙකුව සිට දේශපාලනයට පිවිස ජනපති ධුරයට පත් ලූලා ද සිල්වා සැලකෙන්නේ, එරට හිටපු ජනාධිපතිවරුන් අතරින් ජනප්‍රියම ජනාධිපතිවරයා ලෙසයි.

අමෙරිකානු හිටපු ජනපති බැරක් ඔබාමා වරක්  ලූලා ද සිල්වා හඳුන්වා දුන්නේ, ලූලා ද සිල්වා මිහිමත ජනප්‍රියම දේශපාලනඥයා ලෙසයි.

බ්‍රසීල ව්‍යවස්ථාවට අනුව අඛණ්ඩව තෙවන වරටත් ලූලා ද සිල්වාට ජනාධිපති වීමට නොහැකි අතර ඒ අනුව බ්‍රසීල ජනපති වූයේ, පසුගිය සමයේ දෝෂාභියෝගයකින් බලයෙන් පහ කෙරුණු ඩිල්මා රූසෙෆ් ජනාධිපතිනියයි.

ලූලා ද සිල්වාගේ ජනපති දිවිය….

 

බ්‍රසීල දේශපාලනයේ පළමු වාමාංශික නායකයා ලෙසින් ජනපති පුටුවට එන හිටපු ජනපති ලූලා ද සිල්වා 2011 වසර දක්වා වසර 8ක කාලයක් බ්‍රසීල ජනාධිපති ලෙස කටයුතු කළේ ය.

2003 වසරේදී ලූලා ද සිල්වා බලයට පත් වන්නේ, එරට දේශපාලනයේ මෙන් ම ආර්ථිකයේ මහාපරිමාණ ප්‍රතිසංස්කරණ රැසක් හඳුන්වා දෙන බවට වූ මහජන පොරොන්දුව මතයි.

බ්‍රසීලයේ දුගී භාවය සහමුලින්ම තුරන් කරන බවට සහ ජනතාව තුළ ආත්ම විශ්වාසය ඇති කරමින් ඉදිරි ගමනක් ඇති ජාතියක් නිර්මාණය කරන බවට වන බවට ද ඔහු බ්‍රසීල ජනතාව හමුවේ පොරොන්දු විය.

විශ්ලේෂකයින් පවසන්නේ, ලූලා ද සිල්වා සිය පාලන සමය තුළදී සමාජ සේවා වැඩසටහන් සඳහා වැඩි ප්‍රමුඛතාවක් දීම මත ඔහු මිලයන ගණනක් වූ බ්‍රසීල ජනතාව ඇතර ඉතා ඉක්මනින් ජනප්‍රිය චරිතයක් බවට පත් වූ බවයි.

පාලන සමය තුළදී වැඩි ආර්ථික වර්ධනයක් අත්කර ගනිමින් ජනාධිපතිවරයා අන්තර්ජාතිකමය වශයෙන් බ්‍රසීලය ප්‍රමුඛ ස්ථානයකට ගෙන ඒමට ක්‍රියා කළ නායකයෙකු සැලකේ.

දුගී දුප්පත් පවුලක ඉපිද ජනපති ධුරය තෙක් ගොඩ නැගුණු ලූලාගේ ජීවිත කතාව…

 

බ්‍රසීලයේ ඉතා දුප්පත් පවුලක දරුවෙකු ලෙස 1945 වසරේ උපත ලද ලූලා ද සිල්වා කුඩා කළ සිට විවිධ රැකියාවල නිරවී ඇත්තේ, පවුලේ අගහිඟකම් නිසාවෙනි.

බ්‍රසීල භාෂාව කියවීමට හැකිවන තෙක් පමණක් අධ්‍යාපනය ලබා ඇති ලූලා ද සිල්වාට කුඩා කාලයේදීම අධ්‍යාපන ගමන සමු දීමට සිදුවඇත.
කුඩා කාලයේ දුම්රියේ රටකජු විකිණීමට ගොස් ඇති අතර ඊට අමතරව සපත්තු පොලිෂ් කරන ළමයෙකු ලෙස ද ක්‍රියා කර ඇත්තේ, ආර්ථික අපහසුතාවන් ආර්ථික අපහසුතාවන්ට මිරිකී සිටි පවුල යම් තරමකට හෝ ගොඩගැනීමේ අරමුණ ඇතිවයි.

තරුණ වියට එළැඹෙත් ම දුම්රියේ කම්කරුවෙකු ලෙස සේවයට එක්වන ලූලා ද සිල්වාට සිය දකුණතේ ඇඟිල්ල අහිමි වන්නේ, එහිදී සිදු වූ අනතුරකිනි.

රැකියාවට එල් වූ මුල් කාලයේදී දේශපාලනයට පිවිසීමේ අරමුණක් නොතිබූ හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන ගමනට මුල් පියවර සැකසෙන්නේ, වෘත්තිය සමිතිවල ක්‍රියාකාරී සාමාජිකයෙකු බවට පත්වීමත් සමගයි.

1975 වසරේදී ලක්ෂයක පමණ වූ ලෝහ කම්කරුවන්ගේ වෘත්තිය සමිතියේ නායකයා ලෙස ඡන්දයෙන් තේරී පත්වීම ලූලා ද සිල්වාගේ දේශපාලන ගමනේ හැරවුම් ලක්ෂය බවට පත් විය.

ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු හිටපු ජනාධිපතිවරයා ඩොලර් මිලයන ගණනක් බ්‍රසීලයේ Bolsa Familia නම් සමාජ සේවා වැඩසටහන සඳහා වැය කළ අතර එය සැලකෙන්නේ බ්‍රසීලයේ ඓතිහාසික අසමානතා ආපසු හරවා ගැනීමට උදව් වී ඇති බව වැඩසටහනක් ලෙසයි.

කෙසේ වෙතත් ඇතැම් විචාරකයින් ලූලාද සිල්වාගේ දුප්පත්කම පිටු දැකීමේ වැඩසටහනට චෝදනා එල්ල කරන්නේ දුප්පත්කම යටින් දිවෙන අධ්‍යාපනයේ ගැටලුවලට විසඳුම් නොලැබුණු බවටයි.

ස්ථාවර වාර්ෂික ආර්ථික වර්ධනයක් දැක ගත හැකි වුවත් ලූලාගේ පාලන සමයේ ආර්ථික ප්‍රතිස්ංස්කරණ සම්බන්ධයෙන් චෝදනා ද එල්ල වේ.

වසර 8ක් සේවා කාලයෙන් සමු ගැනීමෙන් කෙටි කාලයකට පසු ලූලා ද සිල්වා උගුර ආශ්‍රිතව පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙන බව හඳුනා ගැනිණ.

හිටපු ජනාධිපතිවරයාගේ පළමු බිරිඳ 1969දී සෙංගමාලය වැළඳීමෙන් ජීවිතක්ෂයට පත් වුවා ය.

මේ අතර මොළයේ හටගත් රුධිර වහනයක් හේතුවෙන් ඔහුගේ දෙවන බිරිඳ ද පසුගිය පෙබරවාරී 17 වන දා ජීවිතයෙන් සමු ගත්තා ය.

මේ අතර වත්මන් බ්‍රසීල ජනාධිපතිවරයා වන මිෂෙල් ටමර්ට ද මේ වන විට දූෂණ චෝදනා එල්ල වී තිබීම විශේෂත්වයකි.

620x349