යාපනය විද්‍යා දැරිය ඝාතනයේ තොරතුරු රැසක් හෙළි වෙයි

යාපනය විද්‍යා දැරිය ඝාතනයේ තොරතුරු රැසක් හෙළි වෙයි

කර්තෘ Sagarika Chathumali

28 Jun, 2017 | 9:52 pm

යාපනය පුංකුඩුතිව් ප්‍රදේශයේදී විද්‍යා දැරිය ඝාතනය කිරීම පිළිබඳ නඩුව අද පළමු වරට යාපනය මහාධිකරණයේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැනිණ.

 

බාලේන්ද්‍රන් ශෂීමහේන්ද්‍රන්, මානක්කවාසගර් ඉලන්චේලියන් සහ අන්නලිංගම් ප්‍රේම්ශංකර් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද පැය පැය 8 ක පමණ කාලයක් නඩු විභාගය සිදුවිය.

නඩුවේ සැකකරුවන් නව දෙනාට එරෙහි චෝදනා 41 ක් අද වෙන වෙන ම විවෘත අධිකරණයේදී ප්‍රකාශයට පත්කල අතර ඔවුන් එහිදී නිවැරදි කරුවන් බව ප්‍රකාශ කළේ ය.

මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන ස්විස් කුමාර් නමැත්තා දැරිය අපයෝජනයට ලක්කරන දර්ශන පටිගත කිරීමේ අදහසින් ස්විට්සර්ලන්තයේ සිට මෙරටට පැමිණ ඇතැයි වැඩ බලන නීතිපති දප්පුල ඩි ලිවේරා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ ය.

ඔහු පෙන්වා දුන්නේ ස්විට්සර්ලන්තයේ පිහිටි ආයතනයකට අදාළ දර්ශන අලෙවි කර මුදල් ලබාගැනීම සැකකරුගේ අරමුණ වූ බවයි.

සැකකරු දකුණු ආසියානු රටවල මෙවැනි අපරාධකර ඒවා අලෙවිකිරීම ජාවාරමක් ලෙස කරගෙන ගිය අයෙකු බවට සාක්ෂි ඇතැයි වැඩබලන නීතිපතිවරයා පෙන්වා දුන්නේ ය.

මෙම සිද්ධියේ සැකකරුවන් නව දෙනා දැරිය සමූහ ලෙස අපයෝජනයට ලක්කර ඝාතනය කළ බවට සාක්ෂි ඇති බවත් ඒවා අධිකරණයේදී තහවුරු කරන බවත් ඔහු සඳහන් කළේ ය.

විද්‍යා දැරියගේ මව වන සිවලෝගනාදන් සරස්වතී මහත්මිය අද පැය 4 ක පමණ කාලයක් සාක්ෂි දුන්නා ය.

රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව යොමුකළ නඩු භාණ්ඩ 16 ක් ඇය ඉදිරියේ වෙනවෙනම හඳුනා ගැනීම සඳහා ඉදිරිපත් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව පියවර ගත්තේ ය.

ඝාතනයට ලක්වන අවස්ථාවේ දැරිය ඇද සිටි පාසල් නිල ඇඳු හඳුනාගත් මව එම අවස්ථාවේ බොහෝ වේලාවක් අධිකරණය හමුවේ හඩා වැටුන බව අප වාර්තාකරු පැවසී ය.

මෙතෙක් අනුරාධපුර බන්ධනාගරයේ රඳවා සිටි සැකකරුවන් අද සිට යාපනය බන්ධනාගාරයට මාරුකරන ලෙස අධිකරණය නියෝග කළේ ය.

2015 මැයි 13 වනදා ශිවලෝගනාදන් විද්‍යා දැරිය පුංකුඩුතිව් ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් සමූහ ලෙස අපයෝජනය කර ඝාතනය කර තිබිණ.