දිනෙන් දින ඩෙංගු මාරයාට බිලි වන මිනිස් ජීවිතවලට වග කියන්නේ කවු ද?

දිනෙන් දින ඩෙංගු මාරයාට බිලි වන මිනිස් ජීවිතවලට වග කියන්නේ කවු ද?

කර්තෘ Hashini De Mel

18 Jun, 2017 | 9:05 pm

ඩෙංගු රෝගය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව මහත් පීඩාවට පත් ව තිබේ.

ඩෙංගු අධිඅවදානම් කලාපවල පිරිසිදු කිරීමේ කටයුතු යුද හමුදාවේ සහ පොලීසියේ මැදිහත් වීමෙන් අද ආරම්භ කෙරිණි.

ඩෙංගු අධිඅවදානම් කලාපයක් ලෙස හඳුනාගෙන ඇති රත්නපුර ඇලෝසියස් විද්‍යාලය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීම ආරම්භ කෙරුණේ අද පෙරවරුවේදී ය.

ඒ, යුද හමුදාව, ශ්‍රී ලංකා පොලීසිය, පාසල් ආදි ශිෂ්‍ය සංගමය සහ පාසල් දරුවන්ගේ සහභාගීත්වයෙනි.

පාසලට යාබදව තිබෙන මෙම වෙළෙඳ සැළේ එළිමහන් ගබඩා සංකීර්ණයක් පිරිසිදු කිරීමට යාමේදී නොසන්සුන්තාවක් ද ඇති විය. ඒ වෙළෙඳ සැළේ හිමිකරු මෙම ගබඩා සංකීර්ණය පරීක්ෂා කිරීමට විරෝධය පළ කිරීමත් සමග ය.

දිනෙන් දින ව්‍යාප්ත වන ඩෙංගු රෝගය නිසා පසුගිය මාස 6 තුළ දී වාර්තාවන ඩෙංගු රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 200 කට ආසන්න ය.

මෙම කාලසීමාවේදී ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 63,987ක් වාර්තා වී ඇති අතර පසුගිය වසරේ මෙම කාලසීමාව තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 23,814කි. මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෙංගු රෝගීන්ගෙන් 40 දෙනෙකු සිටින්නේ අසාද්‍ය තත්ත්වයේ ය.

මේ අතර රජය ඩෙංගු මර්දනය සඳහා කලින් කලට ජාතික වැඩසටහන් රැසක් හදුන්වා දුන් අතර පසුගිය මාර්තු මාසයේදී මදුරු මර්දන ක්ෂේත්‍ර සහයකයින් 500 දෙනෙකු සේවයට බඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කළේ ය.

කින්නියා ප්‍රදේශයේ ඩෙංගු ව්‍යාප්තියත් සමග නව දුමායන යන්ත්‍ර 168 ක් යෙදවීමට ද පියවර ගෙන තිබේ.

ඖෂධ හිඟයට පිළියමක් ලෙස තායිලන්තයෙන් ප්‍රතිජීවක එන්නත් 5000ක් ගෙන ඒම, රෝහල්වල නව වාට්ටු සංකීර්ණ ඇති කිරීම සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන තිබේ.

ඊට අමතරව අවස්ථා කිහිපයකදී ඩෙංගු නිවාරණ සති ප්‍රකාශයට පත් කිරීමට ද රජය පියවර ගෙන තිබේ.

කසල කළමනාකරණය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මෙරට පෞද්ගලික වාහන ආයතන සමගින් ට්‍රක් රථ 50ක් මිලදී ගෙන ඇත.

ක්‍රියාත්මක වූ වැඩසටහන්වලට සාපේක්ෂව ඩෙංගු රෝගීන් සංඛ්‍යාවේ අඩුවක් අදවන විට දක්නට නොලැබීම කණගාටුවට කරුණකි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ලේකම්, පුබුදු ජාගොඩ

[quote]ප්‍රශ්නේ තියෙන්නේ මේ ඩෙංගු රෝගය අද මේ අවුරුද්දේ මතුවෙච්ච දෙයක් නෙවෙයි, මේක දැන් අවුරුදු 20ක් 25ක් තිස්සේ තියෙනවා. එතකොට හැම අවුරුද්දෙම 50000කට විතර ඩෙංගු රෝගය හැදෙනවා. 100 – 150ත් අතර ප්‍රමාණයක් මැරෙනවා. එතකොට ඒ මුළු කාලය පුරාම ඩෙංගු මර්දය වෙනුවෙන් ආණ්ඩුව කළේ මොනවද කියන එක මෙතෙක් හිටපු ආණ්ඩුයි දැන් ඉන්න ආණ්ඩුයි කළේ මොකද් ද කියන ප්‍රශ්නෙයි තියෙන්නෙ? එක පැත්තකින් ඩෙංගු මර්දනය සඳහා රාජ්‍ය මැදිහත් වීමට තියෙන අරමුදල් වෙන වෙන දේවල් වලට යෙදෙව්වා. අනික් පැත්තෙන් කළේ සම්පුර්ණ වැරැද්ද මිනිස්සු මත පටවල මිනිස්සුන්ගේ ගෙවල්වල ඇවිල්ලා වතුර භාජනයි වැහිපීලියි චෙක් කරල දඩ ගහන ආණ්ඩුව හිතුවේ කොහොමද මේකෙන් දඩ ගහල සල්ලි හොයන්නේ කියලා. ආණ්ඩුව මුළුමනින්ම අසමත් ඩෙංගු කාරණාවේදී විතරක් නෙවෙයි අනික් හැම කාරණාවලදීම අසමත්[/quote]

එක්සත් ජනතා නිදහස් සන්ධානය, විමල් වීරවංශ,

[quote]ඩෙංගු රෝගය දවසින් දවස ව්‍යාප්ත වෙනවා. පළා‍ත් පාලන ආයතන අකර්මන්‍ය කිරීමේ ප්‍රධානතම හේතුව රාජිත සේනාරත්න අමාත්‍යවරයා නම් කියනවා සංවර්ධනය වෙනකොට ඩෙංගු මෙහෙම ව්‍යාප්ත ‍වෙනවා කියලා. එහෙනම් ඩෙංගු රෝගය ව්‍යාප්ත නොවුන රටවල් ලෝකයේ දුප්පත්ම රටවල් වෙන්න ඕනා. මේ වගේ තකතීරු අමන මෝඩ ප්‍රකාශ වලින් මේ ව්‍යසනය වහල දාන්න බෑ. අග්‍රාමාත්‍යවරයා ඇමරිකාවේ ගිහිල්ලා ඇවිල්ලා කියනවා එහේ සෞඛ්‍ය තත්ත්වය හොඳයි එහේ සෞඛ්‍ය මධ්‍යස්ථානවලට මැති ඇමතිවරුන්ටත් යන්ත්‍ර ක්‍රමයක් හදන්න ඕන කියලා. මංගල සමරවීර අතීතයේ බොහොම ප්‍රබලව කියපු දෙයක් තමයි රනිල්ට බෑ කියලා. මංගල සමරවීර කියපු ඒ දේ නම් අද මොනවට ඔප්පු වෙලා[/quote]

ජනතා විමුක්ති පෙරමුණ, සුනිල් හදුන්නෙත්ති,

[quote]ජනතාවට දඩ ගහලා ජනතාව මර්දනය කරන නීති ගේන කතා පවත්වල ජනතාවට දඩ මගින් බලෙන් බලහත්කාරයෙන් ඩෙංගු මර්දනය කරන්න උත්සහ කරන්න හදනව වගේ පෙන්නෙ. ඊයෙත් අපි දැක්ක රාජිත සේනාරත්න මැතිතුමත් කි‍යනවා මේ ඩෙංගු මදුරුවන්ගේ ප්‍රශ්නෙට උත්තරයක් ලෙස දැන් ඔස්ට්‍රේලියාවෙන් මදුරුවෙක් ගේනව කියලා අපිට අහන්න තියෙන්නෙ ඒ ඔස්ට්‍රේලියාවෙන් ගේන මදුරුව මිනිස්සුන්ගේ ලේ බොන්නෙ නැතිව බත් කනව ද කියල. තව උවදුරක් තමයි ඊළඟට එන්නෙ. ඩෙංගු මදුරුවට ඒ අදාළ බැක්ටීරියවන් කියුබාවෙන් ගෙනල්ල නමුත් ඒවාට ඊට පස්සේ උත්තර ගෙනිච්චෙ නෑ. කියුබාව සමාජවාදී රටක් නිසාද දන්නෙ නැහැ අර පය බරවායට පිටිකර බඳින්න වගේ අනික් පැත්තෙන් නෙවෙයි මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න ඕන ඇත්තටම සමාජයක් විදියට ජනතාවක් හැටියට. පළාත් පාලන ආයතන අක්‍රීය වීමත් මේ ප්‍රශ්නෙට හුඟාක් හේතුවක් වෙලා තියෙනවා[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]