සිරස පුලතිසි පොසොන් උදානය ඇරඹෙයි (VIDEO)

සිරස පුලතිසි පොසොන් උදානය ඇරඹෙයි (VIDEO)

කර්තෘ Hashini De Mel

08 Jun, 2017 | 8:30 am

ගංවතුරින් හා නායයාම්වලින් විපතට පත් ජනතාව ඇතුළු සියලු රට වැසියන්ටත්, රටටත් සෙත්පතා පොළොන්නරුව ඓතිහාසික ගල්විහාර පරිශ්‍රයේ පුලතිසි පොසොන් උදානය අද ආරම්භ විය.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට සිරස පුලතිසි පොසොන් උදානයට සර්වඥ ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ වැඩම කරවීම අද පස්වරුවේ සිදුවිණි.

වතාවත්වලින් පසුව දඹුල්ල වළගම්බා පිරිවෙන් විහාරස්ථානයේ සිට අද පෙරවරුවේ ධාතූන් වහන්සේ රැගත් රිය පෙරහැර ගමන් ඇරඹූ අතර මග දෙපස රැසවූ සැදැහැවතුන්ට වන්දනා කිරීම සඳහා එහිදී අවස්ථාව ලබා දී තිබිණි.

ධාතූන් වහන්සේ වෙනුවෙන් දහවල් සම්බුද්ධ පූජාව පිරිනැමුවේ, මින්නේරිය යුධ හමුදා ඉංජිනේරු බලකා මූලස්ථානයේ හමුදා සෙබළුන්ගේ දායකත්වයෙනි.

අනතුරුව පොළොන්නරුව බලා වැඩම කරවූ ධාතූන් වහන්සේ වෙනුවෙන් ජයන්තිපුරදී ගුවනින් පුෂ්පෝපහාර පුද කෙරිණි.

අද පස්වරුවේ පොළොන්නරුව ගල්විහාරයට වැඩම කළ ධාතූන් වහන්සේ එහි තැන්පත් කෙරුණේ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙනි.

අනතුරුව ධාතූන් වහන්සේ වෙනුවෙන් සිදුකළ විශේෂ පූජාවකින් පසු ජනතාවගේ වන්දනා කටයුතු වෙනුවෙන් විවෘත කෙරිණි.

මේ අතර සිරස පුලතිසි පොසොන් කලාපයට සමගාමීව තොරණ, පහන් කූඩු, දන්සැල් ඇතුළු අංග රැසක් සංවිධාන කර තිබේ.

සිරස පුලතිසි පොසොන් කලාපය හෙටත් පැවැත්වේ.