බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලි බලාගාර ටෙන්ඩර් වංචාවක් (VIDEO)

බැඳුම්කර වංචාවට නොදෙවෙනි විදුලි බලාගාර ටෙන්ඩර් වංචාවක් (VIDEO)

කර්තෘ Sakila Udayakumara

08 Jun, 2017 | 8:33 pm

බැඳුම්කර වංචාව පිළිබඳව තවමත් පවතින්නේ දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයකි.

මේ අනාවරණය එවැනිම තව ත් මගඩියක් පිළිබඳව යි.

මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් සංයුක්ත චක්‍ර බලාගාරයක් කෙරවලපිටියේ ඉදිකිරීම සඳහා මේ වන විට රජය ලංසු කැඳවා තිබේ.

ආරම්භයේදී ඩීසල් මගින් ක්‍රියාත්මක කර වසර 3කින් එය ස්වභාවික ද්‍රව වායුවලට පරිවර්තනය කිරීම සඳහා මෙම බලාගාරය ඉදිකිරීමට යෝජනා කෙරිණි.

මේ වන විට බලාගාරය ඉදිකිරීම සඳහා ආයෝජකයින් 8 දෙනෙකු ඔවුන්ගේ ලංසු ඉදිරිපත් කර තිබේ.

කොරියානු සමාගම් දෙකක්, ජපාන සමාගමක්, සිංගප්පූරු හා බංග්ලාදේශ සමාගම් දෙකක් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කළ ආයතන අතරට අයත් ය.

පසුගිය අප්‍රේල් 30 වන දා සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා ක‍ළේ, ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ලංකා ට්‍රාන්ස්ෆෝමර් හෙවත් එල්.ටී.එල්. හෝල්ඩින්ස් සමාගම ද ලංසු තැබූ ආයතන අතර ඇති බව ය.

ලංකා ට්‍රාන්ස්ෆෝමර් සමාගමේ කොටස් වැඩි ප්‍රමාණයක් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ය.

කෙරවලපිටියේ දැනටමත් ක්‍රියාත්මක වන ලක්දනවි බලාගාරය ද අයත් වන්නේ, ලංකා ට්‍රාන්ස්ෆෝමටර් සමාගමට ය.

පසුගිය පෙබරවාරි පළමු වන දා නිකුත් කළ එල්.ටී.එල්. හෝල්ඩින්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල තොරතුරු අනුව ඒ.කේ. සමරසිංහ මහතා පසුගිය ජනවාරි 5 වන දා සිට එහි අධ්‍යක්ෂවරයෙකි.

ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරිවරයා ලෙස ද කටයුතු කරන ඔහු කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවේ ද සාමාජිකයෙකි.

කෙරවලපිටිය බලාගාරය ඉදිකිරීම සම්බන්ධයෙන් අදාළ ටෙන්ඩර් කොන්දේසි සකස් කිරීම මෙන්ම සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට නිර්දේශ ඉදිරිපත් කිරීමට බලය පැවරී ඇත්තේ මේ ප්‍රසම්පාදන කමිටුවට ය.