උතුරු පළාත් සභා අර්බුදය දිග්ගැස්සෙන ලකුණු

උතුරු පළාත් සභා අර්බුදය දිග්ගැස්සෙන ලකුණු

කර්තෘ Sakila Udayakumara

15 Jun, 2017 | 8:42 pm

දූෂණ චෝදනා එල්ල වූ ඇමතිවරුන් සිව්දෙනා සම්බන්ධයෙන් ප්‍රධාන අමාත්‍යවරයා ගත් පියවරත් සමග උතුරු පළාත් සභාවේ මතුව ඇති අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳවයි මේ විමසා බැලීම.

චෝදනා නැගුන අමාත්‍යවරුන්ගෙන් දෙදෙනෙකුට ධූරයන් අත්හරින්නැයි දැන්වූ ප්‍රධාන අමාත්‍යවරයා අනෙක් දෙදෙනාට දැනුම් දුන්නේ පරික්ෂණ අවසන් වන තෙක් නිවාඩු ගන්නා ලෙස ය.

යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක 5න් සමන්විත උතුරු පළාත් සභාවේ සංයුතිය ආසන 38කි.

ඉන් ආසන 30ක් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන අතර ආසන 8ක් නියෝජනය කරන්නේ විපක්ෂය යි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි වෙත ආසන 15ක්, ඊ.පී.ආර්.එල්.ෆ්. වෙත ආසන 5ක්, ටෙලෝ සංවිධානයට ආසන 6ක්, ප්ලොට් සංවිධානයට ආසන 3ක්, යහපාලන පෙරමුණට එක් ආසනයක් ලෙස ආණ්ඩු පක්ෂයේ ආසන 30 බෙදී ගොස් තිබේ.

විපක්ෂයේ ආසන 8 බෙදී ගොස් ඇත්තේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 3ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍ර‍සයට ආසන 2ක්, ඊ.පී.ඩී.පී. සංවිධානයට ආසන 2ක් හා සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට එක් ආසනයක් ලෙස ය.

ඉන් මන්ත්‍රීන් 21 දෙනෙකුගේ අත්සනින් යුත් පෙත්සමක් ඊයේ රාත්‍රි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතාට භාර දී තිබෙන්නේ, උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතා මහ ඇමති ධූරයෙන් ඉවත් කරන්නැයි ඉල්ලමිනි.

ඊට හේතු වූයේ ඔහු දූෂණ චෝදනා එල්ල වූ පළාත් ඇමතිවරුන් සිව් දෙනෙකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම ය.

මේ අතර ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කරමින් අද පස්වරුවේ තරුණ තරුණයින් ඇතුළු පිරිසක් පළාත් සභාවේ සිට ප්‍රධාන අමාත්‍යවරයාගේ නිවසට පා ගමනින් පැමිණියහ.

යාපනය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, දේශපාලනඥයින්ගේ දූෂණයට එරෙහිව තීරණ ගත් මහ ඇමතිවරයාට ස්තුතිය පළ කළ යුතු බව ය.

නිර්භයව තීරණ ගත් ප්‍රධාන අමාත්‍යවරයා ධූරයෙන් ඉවත් කිරීමට දරණ උත්සහ ඔවුන් හෙළා දැක තිබේ.

මේ අතර ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ හා දෙමළ ජාතික ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන හා සිවිල් සංවිධාන ගණනාවක් මේ වන විට ප්‍රධාන අමාත්‍යවරයාට සහය පළ කර තිබේ.