සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය අද සිට දින තුනක් බ්‍රේබෘක් පෙදෙසේදී (VIDEO)

සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය අද සිට දින තුනක් බ්‍රේබෘක් පෙදෙසේදී (VIDEO)

කර්තෘ Sagarika Chathumali

10 May, 2017 | 9:33 pm

සර්වඥ ධාතූන් වහන්සේ සහ අග්‍රශ්‍රාවක ධාතූන් වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතූන් වහන්සේ මේ වන විට සිරස – ජෝන් කීල්ස් වෙසක් කලාපයට වැඩම කර තිබේ.

දින තුනක් ස්ථාන තුනක සිට කොළඹට වැඩම කරවූ ධාතූන් වහන්සේ අද පස්වරුවේ සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපයට වැඩම කෙරිණ.

මහනුවර නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට වැඩම කෙරුණු සර්වඥ කේශ ධාතූන්වහන්සේ ප්‍රමුඛ මහරහත් ධාතුන්වහන්සේ කැලණිය රාජමහා විහාරස්ථානයේ සිට අද දහවල් වෙසක් කලාපයට වැඩම කරවීය.

සාදුකාර මධ්‍යයේ මෙලෙස වැඩම කළේ, ආනන්ද මහරහතන් වහන්සේ, පිළින්දවච්ච මහරහතන් වහන්සේ, අංගුලිමාල මහරහතන් වහන්සේ, කදිරවනීය රේවත මහරහතන් වහන්සේ හා මහා කශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු මහරහතන් වහන්සේ 18 නමකගේ ධාතුන් වහන්සේයි.

එම ධාතුන් වහන්සේ සිරස – ජෝන් කිල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපයේ අද පස්වරුවේ තැන්පත් කිරීමෙන් පසුව අෂ්ඨපාන පූජාවක්ද පැවැත්විණ.
සිරස – ජෝන් කිල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපයේ තැන්පත් කිරීමට අග්‍රශ්‍රාවක සැරියුත් මුගලන් මහරහතන්වහන්සේගේ ධාතුන් වහන්සේ වැඩමකරවීම ආරම්භ කෙරුණේ මාලිගාකන්ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරස්ථානයේ සිටයි.

සැදැහවතුන්ගේ සාදු නාද මධ්‍යයේ වැඩම කළ ධාතුන්වහන්සේ සිරසානමාමි වෙසක් කලාපයේ ඉදිකළ සුවිශේෂි පීඨිකාවක අද පස්වරුවේ තැන්පත් කෙරිණ.

තිස්සමහාරාම සදගිරි මහ සෑයෙන් සොයාගත් සර්වඥ ධාතුන්වහන්සේ සහ මිහින්තලා පුදබිමේ සිට වැඩම කළ මිහිදු මහරහත් ධාතුන් වහන්සේ ඊයේ තැන්පත්කෙරුණේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේයි.

එම විහාරස්ථානයේ සිට ධාතුන්වහන්සේ සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපයට අද පස්වරුවේ වැඩම කෙරිණ.

මිහින්තලා පුද බිමේ සිට මිහිදු මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේ සිරස ජාත්‍යන්තර වෙසක් කලාපයට වැඩම කෙරුණේ පළමු වරටයි.


මෙවරත් සිරස – ජෝන් කීල්ස් ජාත්‍යන්තර වෙසක් කලාපය ආරම්භ කෙරුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානවත්යෙනි.