පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කර එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරික්ෂණ

කර්තෘ Sagarika Chathumali

10 May, 2017 | 9:47 pm

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඊයේ එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි, පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.

ඊයේ රාත්‍රි එල්ල වූ මෙම ප්‍රහාරයෙන් පොලිස් නිලධාරියෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙ‍ක්, කුඩා දරුවන් තිදෙනෙක් ඇතුළු හය දෙනෙක් තුවාල ලැබූහ.

මො‍රටුව සිට පිළියන්දල දක්වා දිවෙන මාර්ගයේ පිළියන්දල හංදියට මීටර් 100ක් පමණ නුදුරින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල වුණේ ඊයේ රාත්‍රි 8.45ට පමණයි.

මත්ද්‍රව්‍ය වැටලීමක් සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඇතුළු නිලධාරීන් ගමන්ගත් මෙම මෝටර් රථය පසුපස ලුහුබැඳි සන්නද්ධ යතුරු පැදි කණ්ඩායමක් වෙඩි ප්‍රහාර එල්ල කර ඇතැයි පොලීසිය පවසයි.

මෝටර් රථයේ රියැදුරු ලෙස කටයුතු කළ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් කොස්තාපල්වරයා වෙඩි වැදී මියගිය අතර වැටලීම මෙහෙයවූ ‍පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා හා තවත් පොලිස් කොස්තාපල්වරයෙකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි.

හිසට හා පපු ප්‍රදේශයට වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු රංගජීව මහතා දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

මෙම මොටර් රථයට අමතරව මාර්ගයේ නවතා තිබූ වෑන් රථයක්, තවත් මෝටර් රථ දෙකකට හා ත්‍රිරෝද රථයකට ද වෙඩි වැදී තිබේ.

ත්‍රිරෝද රථයේ රියැදුරු තුවාල ලැබූ අතර අසල පිහිටි හෝටලයක සිටි වයස අවුරුදු 8ක හා අවුරුදු 11ක් ගැහැනු ළමුන් දෙදෙනෙක් හා අවුරුදු 15ක පිරිමි දරුවෙක් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කළහ.

ඔවුන් අදාළ හෝටලයේ හිමිකරුගේ දරුවන් ය.

ඉන් අවුරුදු 11ක ගැහැනු දරුවාගේ තත්ත්වය අසාධ්‍ය බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ ය .

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට‍ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවමින් පරික්ෂණ ආරම්භ කර ඇති අතර වෙඩි තැබූවන් ආ බවට සැක කෙරෙන යතුරු පැදිය මහරගම අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී පොලිස් භාරයට ගැනිණ.
වෙඩි ප්‍රහාරයට ලක්ව ජාතික රෝහ‍ලේ දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍ය තත්ත්වයේ පසුවන මෙම වැටලීම මෙහෙ‍යවූ පොලිස් පරික්ෂක නියෝමාල් රංගජීව මහතා ඉකුත් කාලය පුරා මෙරට මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා සිය උපරිම දායකත්වය ලබා දුන් නිලධාරියෙකි.

2016 වසරේ ජුනි මස 21 වන දා වෙලේ සුදාගේ කල්ලියේ ප්‍රධාන පෙළේ හෙරොයින් ජාවාරම්කරුවන් තිදෙනෙකු කිරුළපන දී හෙරොයින් සමග අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමට ද ඔහු නායකත්වය දී ඇත.

මෑත ඉතිහාසයේ මහ මුහුදේ දී සොයා ගත් විශාලතම හොරොයින් තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි 100කට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 101
ද, දකුණු මුහුදු තීරයේ දී පසුගිය වසරේ මාර්තු මස 30 වන දා සොයා ගැනීමට ද ඔහු සක්‍රිය දායකත්වය ලබාදුන් නිලධාරියෙකි.