ස්වභාවික ද්‍රව වායු වෙළෙඳපොළ විදෙස් රටකට නතුවෙයිද?

ස්වභාවික ද්‍රව වායු වෙළෙඳපොළ විදෙස් රටකට නතුවෙයිද?

කර්තෘ Chathuranga Rajapaksha

30 Apr, 2017 | 10:31 pm

ස්වභාවික ද්‍රව වායු ඉදිරි කාල සීමාවේ මෙරට ප්‍රධාන බලශක්ති මූලාශ්‍රයක් බවට පත් කිරීම රජයේ සැලසුම වී තිබේ.

එහෙත් මෙම වෙළඳපොළ අයිතිය ක්‍රමාණුකූලව අපෙන් ගිලිහී යයි ද?

මේ ඒ පිළිබඳව විමසුමකි.

ගල් අඟුරු වෙනුවට සාම්පූර්හි ස්වභාවික ද්‍රව විදුලි බලාගාර 2ක් ඉන්දියාව හා ජපානය සමග එක්ව ඉදිකිරීමට මේ වනවිට යෝජනා වී තිබේ.

මේ අතර වාරයේ මෙගවොට් 300 ක ධාරිතාවයකින් යුත් සංයුක්ත චක්‍ර බලාගාරයක් කෙලවරපිටියේ ඉදිකිරීම සඳහා ද රජය මේ වනවිට ලංසු කැඳවා තිබේ.

කෙරවලපිටිය බලාගාරය ආරම්භයේ ඩීසල් මගින් ක්‍රියාත්මක කර වසර 3 කින් ස්වභාවික ද්‍රව වායුවලට පරිවර්තනය කිරීමට හැකිවන ලෙස ඉදිකරන්නැයි කැබිනට් මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුව ආයෝජකයින්ට දන්වා තිබේ.

ස්වභාවික ද්‍රව වායු සැපයීමේ වගකීම එහිදී රජය භාර ගන්නා බව ත් ඒ සඳහා වෙනම ක්‍රමවේදයක් සකස් කරන බව ත් ප්‍රකාශ විය.

ඒ අනුව ස්වභාවික වායු ගෙන්වා ගබඩා කර බෙදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ බව මීට සති කිහිපයකට පෙර අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

පසුබිම මෙසේ පවතිද්දී අග්‍රාමාත්‍යවරයා ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේ දෙරට අත්සන් කළ අවබෝධතා ගිවිසුමට ස්වභාවික ද්‍රව වායු පිළිබඳව ද කරුණු ඇතුළත් කර තිබේ.

සන්ඩේ ටයිම්ස් පුවත්පත අද මෙම අවබෝධතා ගිවිසුමේ කරුණු අනාවරණ කර තිබුණි.

එහි සඳහන් වූයේ ස්වාභාවික වායු පර්යන්තයක්, පාවෙන ගබඩා සංකීර්ණයක් වායු බෙදාහැරීම සඳහා නල පද්ධතියක් ඇති කිරීමට හා ස්වාභාවික වායු අලෙවි කිරීම සඳහා නීතිමය බලතල සහිත ආයතනයක් ස්ථාපිත කිරීම ද මෙම අවබෝධතා ගිවිසුමට ඇතුළත් බව ය.

මෙම අවබෝධතා ගිවිසුමට අනුව ශ්‍රී ලංකාවේ හවුල් ව්‍යාපෘති සම්පූර්ණ කිරීම සඳහා දෙරටේ රජයන් එකඟත්වය පලකර ඇතැයි සන්ඩේ ටයිම්ස් වාර්තාවේ සඳහන් ය.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා

[quote]ඉන්දියාවට ජපානයට වෙන වෙනම මෙගාවොට් 500ක ධාරිතාව සහිත විදුලි බලාගාර දෙකක් ලබාදීම සදහා රජය තීරණය කරලා තිබෙනවා . ඒ විදුලිබලාගාර දෙකට සහ කැළණිතිස්ස ආශ්‍රිතව පවතින එල් එන් ජී ස්වාභාවික වායු වලට පරිවර්ථනය කළ හැකි විදුලිබලාගාර සඳහා ස්වාභාවික වායුව සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාවත් ජපානයත් ශ්‍රී ලංකාවත් එකතු වෙලා කරන ආයෝජනයක් පිළිබඳව තමයි සාකච්ඡා කළේ මේ රටවල් තුනේ ආයෝජකයන්ට ඒ සදහා අවස්තාව දෙනවා කියන එක විතරයි මෙතෙක් සාකච්ඡා කරලා තියෙන්නේ. ප්‍රතිශතය සම්බන්ධයෙන් නුදුරු කාලයේදී වෙන වෙනම ඒ ක්‍රියා කරන ආකාරය පිලිබදව ආයෝජකයකයන් කව්ද කියන කාරණා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි[/quote]

ලංකා ඛනිජ තෙල් සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා

[quote]මේ වන විට තෙල් සංස්ථාවේ පිරිපහදුව හදාගන්න බැරි වෙලා මහින්ද මහත්තයා ලක්ෂ 34ක් උත්සවයකට වියදම් කළත් ඩොලර් මිලියන 500ක් අපිට හොයාගන්න බැරි වුණා . මේ මොහොතේ තියෙන්නෙත් ඒ අර්බුදයමයි පිරිපහදුව නවීකරණයට ලක්වීම තමයි බරපතලම අවශ්‍යතාව. ඒ අස්සේ කියනවනම් එල් එන් ජී එක මුතුරාජවෙල ඉදිකරනවා කියලා හොදයි හැබැයි මේක යෝජනාවක් පමණයි ඒ සදහා රාජ්‍ය මුදල් තත්ත්වයකුත් නැහැ එතකොට තෙල් සංස්ථාවේ මුදල් හොයාගන්නේ කෙහොමද කියන්නේ කියල නැහැ.ජනාධිපතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශයක් කළා අවබෝධතා ගිවිසුම් එකක්වත් වලංගු නැහැ එය නිවරදිව ගිවිසුම් ගත වෙනකම්. ගිවිසුමේ තියෙන්නේ මොනවදෙ? මේක ස්ථීර අයිතියක් තියෙනවද ? වසර කිහිපයකින් අයිති වෙනවනම් අපි කීයක් ආයෝජනය කරනවා? ආයෝජකියන්ට ලැබෙන ආයෝජන මොනවද ? මෙන්න මේවා පැහැදලිවම වෘත්තිය සමිති හා රට හමුවේ තැබිය යුතුයි.[/quote]